ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ මඩින්න ඉන්දියාවේ සහාය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇතිව තිබෙන දූෂණය සහ වංචාව තුරන් කිරීමට තම පූර්ණ සහාය ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කළ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඊයේ(22) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා පැවැත්වුණු ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අවස්ථාව තමන්ට උදා වූ බවයි.

පසුගියදා පැවැත්වුණු ඉන්දු – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන්ගේ නිල හමුවට ශ්‍රී ලංකාවෙන් එක් වූ දූත කණ්ඩායමෙහි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද විය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සංචාරය අතරතුරදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය සහ වංචාව තුරන් කිරීමට ඉන්දීය සහාය ලබා ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු වූ බවයි.

“අගමැතිතුමාත් මමත් ඉන්දීය අගමැතිතුමාගෙන් ඒ ගැන ඉල්ලීමක් කළා. මොකද ඉන්දියාව තමයි තරග පාවාදීමේ හොකරම් බොහොමයක් ඇල්ලුවේ. ඉන්දියාවේ තියෙනවා සී. බී. අයි කියලා ( Central Bureau of Investigation – CBI ) ආයතනයක්. එම ආයතනය තරග පාවදීම් ගැන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් නීතියේ රැහැනට කොටු කර ගත්තා. ඒ හරහා බොහෝ අයට තරග තහනම් පවා පැනවුණා. ඒ අනුව ඉන්දියාවේ එම පරිණතබව අපිටත් ලබා දෙන ලෙස අපි ඉන්දීය අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදීම පැය ගාණක් ඇතුළත ඉන්දීය අගමැතිතුමා ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ ඉහළ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවකට මාව යොමු කළා. එහිදී මෝදි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ අරුන් ජෙට්ලි (Arun Jaitley) සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය ගැන මම දීර්ඝව සාකච්ඡා කළා.

අරුන් ජෙට්ලි මෝදි අගමැතිතුමාගේ සමීපතයෙක්. ඒ වගේම ඉන්දීය ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ ඉහළතම නිලධාරීයෙක්. එම සාකච්ඡාවල ප්‍රතිඵලක් ලෙසට අපේ අගමැතිතුමාගේ කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල දූෂණ මැඩලන්න අවශ්‍ය දැනුම ලබා දෙන බවට ඉන්දියාව එකඟ වෙලා තියෙනවා. මමත් ඇගමැතිතුමාත් මෙවැනි ඉල්ලීමක් කළේ අපේ ක්‍රිකට් වැටිලා තියෙන තත්ත්වයට වගකිව යුතු මුල සොයා ගන්න ඕන නිසා.

අද අපි බොහෝ විට කථා කරන්නේ ක්‍රීඩකයෝ ගැන. නමුත් ක්‍රීඩකයින්ට වඩා ඊට ඔබ්බට ගිය බුකිකාරයෝ සූදුකාරයෝ ක්‍රිකට්වල විනාශයට අද වගකිව යුතු වෙනවා. මොලකාරයෝ සැඟව සිටිනවා. ඔවුන්ව සොයා ගැනීමට අපේ රටේ ඇතැම් අංශ කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම වඩාත් වැදගත් බව පේන්න තියෙනවා…..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය. ඉන්දියාවේ පැවැති මෙම සාකච්ඡාවලදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ලයේ හිටපු සභාපති අනුරග් තකුර් (Anurag Thakur) මහතා සමඟද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අදහස් හුවමාරු කර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *