ඉරිදා දිනය දහම් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම අත්‍යවශ්‍යයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ඉරු දිනය දහම් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ජාතියේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

නීතියෙන්, චක‍්‍රලේඛවලින් හෝ අණ පනත්වලින් නොව එහි ඇති වැදගත්කම තේරුම්ගෙන තිබෙන හෙයින් සියලු පාර්ශ්වයන් ඒ වෙනුවෙන් වගකීම් ඉටුකළ යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 08 වන වාර්ෂික මහා සමුළුව අමතමිනි.

සියලු දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සදාචාරවත් සමාජයක් ගොඩනැඟිමේ කාර්යයේ දී අත්‍යවශ්‍ය කටයුත්තක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා සමාජයේ ගෞරවයට පාත‍්‍ර වූ පිරිසක් ලෙස සියලු ගුරුවරුන් එම සමාජ ප‍්‍රශ්නය විසඳාගැනීමට තම වගකීම් ඉටුකරනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

රටේ දරු පරපුරට එල්ල වී ඇති සමාජ අභියෝග රජයට තනිව ජය ගත නොහැකි අතර ඒ සඳහා සියලු දෙනා සාමුහික වගකීම් ඉටු කළ යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ගුරු වෘත්තියේ ඇති ගෞරවය සහ වටිනාකම වෙනත් කිසිදු වෘත්තියකට සම කළ නොහැකි අතර ගුරුවරයාට හිමි නිසි ගෞරවය සහ වටිනාකම් තහවුරු කිරීමට රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් කැපවී සිටින බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය රජය සමඟ මිට වඩා සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා වෘත්තිකයන් වශයෙන් එම සියලු දෙනාගේ ගැටලු සහ ප‍්‍රශ්නවලට ලබාදිය හැකි සියලු සහන ලබාදීමට රජය කටයුතු කරන බව ද පැවසීය.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ වාර්ෂික සමරු කලාපය මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

සංගමයේ සාමාජිකයන් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද, සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපති නිහාල් ලියනගේ මහතා ඇතුළු එහි සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *