බන්ධනාගාර ඇමතිතුමිය වැලිකඩට යයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වැලිකඩ බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය හා මැගසින් බන්ධනාගාරවල රාජකාරී කටයුතු කරන බන්ධනාගාර නිලධාරීන්ට පවතින අඩු පාඩු සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ(24) එක් විය.

එහිදී එම බන්ධනාගාරවල රාජකාරී කටයුතු සිදු කරන අධිකාරීවරුන්, ජේලර්වරුන්, නියාමකයින් නවාතැන් ගන්නා නිල නිවාස වෙත පැමිණි අමාත්‍යවරිය පවතින අඩු පාඩු සියසින් දැක බලාගත් අතර , ඒ පිළිබදව වාර්තාවක් වහාම සකස් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

අමාත්‍යවරිය එහිදී සදහන් කළේ බන්ධනාගාර අධිකාරීවරුන් ජේලර්වරුන් නියාමකයින් අඩු පහසුකම් යටතේ රාජකාරී කටයුතු සිදු කරන බැවින් , හොද මානසික මට්ටමකින් යුතු වටපිටාවක් මෙම ස්ථානවල පැවතිය යුතු බවයි.
පිරිසිදු වටපිටාවක් නොමැතිවීම හේතුවෙන් ඩෙංගු වැනි රෝගයන්ට භාජනය වන්නේ රැදවියන්ට වඩා බන්ධනාගාර නිලධාරීන් බැවින් ,තම ජීවත් වන වටපිටාව පිරිසිදුව තබා ගැනීම මුලීක වගකීමක් ලෙස සළකා කටයුතු කරන ලෙස අමාත්‍යවරිය පැවසුවාය.

අවශ්‍ය අඩු පාඩු කඩිනමින් සකස් කරදීම සදහා අමාත්‍යාංශ මට්ටමින් ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගන්නා බවත්, ඒ සදහා සමස්ථ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේම සහාය අවශ්‍ය වන බවත් , අමාත්‍යවරිය එහිදී සදහන් කළාය.
අධිකරණ අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළේ විශේෂයෙන්ම නිලධාරින්ගේ රාජකාරී මෙන්ම පෞද්ගලික මට්ටමේ සහාය ද මේ සියලු කටයුතු සදහා අවශ්‍ය බවයි. සමස්ත දෙපාර්තමේන්තුවම උසස් මට්ටමකට ගෙන ඒම තම අරමුණ බව ද අමාත්‍යවරිය පැවසුවාය.

තමන්ගේ නිල නිවාස, මුර කුටි ආදීයෙහි පවතින අඩු පාඩු දැක බලා ගැනීම සදහා ඉතිහාසයේ මෙතෙක් කිසිදු විෂය භාර අමාත්‍යවරයෙකු පැමිණ නොමැති බවත්, ඒ සියල්ල දැක බලා අවශ්‍ය පහසුකම් ලබාදීමට අමාත්‍යතුමිය පැමිණිම පිළිබදව සතුට පළ කරන බවත් , අඩු පාඩු කඩිනමින් සකස් කර දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් බන්ධනාගාර නිලධාරීන් එහිදී සදහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ සියලු නිල නිවාස, මුර කුටි වල පවතින අවශ්‍යතා මෙන්ම නිලධාරී සදහා වෙන් කර ඇති වැසිකිළි පද්ධතිය හා අනෙකුත් පොදු පහසුකම් පවතින ස්ථාන ද නිරීක්ෂණය කළ අමාත්‍යවරිය ඒ සියලු ස්ථාන විධිමත් පරිදි සකස් කිරීමට මෙන්ම ප්‍රති සංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද අවධාරණය කළාය.

අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එම්.එම්.ආර් අදිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ ,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය ,බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් ද මෙම නිරීක්ෂණ චාරිකාව සදහා එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *