විහාරස්ථානයක ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය ලබන 29වනදා ඉදි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ විහාරස්ථාන පරිශ්‍රයක් ආශ්‍රීතව ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය ඔක්තෝබර් මස 29 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දඅ මරවීර මහතාගේ සංකල්පයක් පරිදි ක්‍රියාත්මක කෙරෙන “අපි වවලයි -අපි කන්නේ” – ජාතික කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ දිවයිනේ පාසල් හා විහාරස්ථාන පරිශ්‍ර ආශ්‍රීතව පලතුරු උද්‍යාන පිහිටුවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ. විහාරස්ථානවලට රැස්වන පිරිස් පලතුරු ගෙවතු වගාවට උනන්දු කරවීම මෙන්ම දහම් පාසල් දරුවන්ට පලතුරු සම්බන්ධයෙන් උනන්දුවක් හා දැනුමක් ලබා දීමත් විරාස්ථානවල වැඩ වසන මහා සංඝරත්නයට අවශ්‍ය පලතුරු ලබා දීමත් මෙහි අරමුණයි.

ඒ අනුව එක් පලතුරු උද්‍යානයක අඩු තරමින් පලතුරු වර්ග 50ක් වගා කීරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ ඉදි වන පළමු පලතුරු උද්‍යානය ඔක්තෝබර් 29 දින පැවැත්වෙන ජාතික වප් මගුල් උත්සවයට සමගාමීව තිස්සමහාරාම දාගැබ අසලදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් අතින් ආරම්භ කෙරෙන අතර එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මැතිඇමැතිවරුන් ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

මෙවර ජාතික වප් මගුල් උත්සවය මෙම මස 29 වන දින පෙරවරු 09.00ට ඓතිහාසික තිස්සමාහාරාම දාගැබ අසල පිහිටි සඳගිරිගොඩ වෙල්යායේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දිවයිනේ විහාරස්ථාන ආශ්‍රීතව වගා කළ හැකි සුදුසු පලතුරු වර්ග රැසක් මෙම උද්‍යාන යටතේ වගා කෙරෙන අතර ඒවා පිළිබඳ නිසි පරිදි අවධානය යොමු කරමින් වගාව නඩත්තු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පුර්ණ අධික්ෂණය ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *