පාසල් නාට්‍ය සමාජ බිහිකිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ටවර් හෝල් රඟහල පදනම විසින් පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය, දැනුම හා රසවින්දනය දියුණු කිරීමේ අරමුණින් පාසල් නාට්‍ය සමාජ බිහිකිරීමේ සමාරම්භක උළෙල ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මීගමුව රුක්මණීදේවී රංග ශාලාවේ දී පැවැත්වුනි.

ගුණාත්මක නාට්‍ය හා රංගකලා සංස්කෘතියක් රටතුළ බිහි කිරීමට දායකත්වය ලබාදෙමින් ටවර් හෝල් රඟහල පදනම දිවයිනේ ප්‍රථම වරට පාසල් පද්ධතිය තුළ නාට්‍ය හා රංගකලාව හදාරන සිසු සිසුවියන් ඇතුලු කලාව හා සාහිත්‍ය පිළිබඳව උනන්දුවක් දක්වන පාසල් සිසුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙම වැඩසටහන සඳහා මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය, මීගමුව මාර්ස්ටෙලා විද්‍යාලය, මීගමුව ලොයොලා විද්‍යාලය යන විද්‍යාවල සිසු දරු දැරියන් 400 කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ. කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ, ප්‍රවීන නාට්‍යවේදි නිශ්ශංක දිද්දෙණිය, ප්‍රවීන නාට්‍යවේදිනී තරංගා කුමාරි කරුණානායක යන ප්‍රවීන නාට්‍යවේදීන් හා විද්වතුන්ගේ දේශන ඇතුළත් නාට්‍ය රසවින්දන වැඩසටහනක් පැවැත්වුනි.

මෙම වැඩමුලුව සඳහා සහභාගී වූ පාසල් දරු දැරියන්ට සහතික පත් ප්‍රධානය කිරීම ප්‍රවීන නාට්‍ය වේදීන්ගේ සුරතින් සිදුවූ අතර නූර්ති හා නාඩගම් ගීත ඇතුළත් සංයුක්ත තැටියක් හා නාට්‍ය හා රංගකලාව වෙනුවෙන් ලියැවුණු පොත් පත් කට්ටලයක් විදුහල් වලට පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ (නාට්‍ය ප්‍රවර්ධන, අධ්‍යාපන හා වැඩසටහන්) සමන් සොයිසා, සහකාර අධ්‍යක්ෂ (නාට්‍ය ප්‍රවර්ධන, කලාකරු සුභසාධන හා වැඩසටහන්) චන්දන විජේසුන්දර බණ්ඩාර මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *