අසත්‍ය තොරතුරු බෙදාහැරීමේ සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික එකමුතුව හා අවබෝධය දුර්වල කිරීම පිණිස විවිධ පාර්ශ්ව සහ සංවිධානාත්මක කණ්ඩායම් අසත්‍ය හා නොමඟ යවන සුලු ප්‍රචාරයන් රට තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බව, රජය පවසයි.

මේ සඳහා සමාජ මාධ්‍ය ජාලා, වෙබ් අඩවි මෙන්ම වෙනත් මාධ්‍ය ඔස්සේ පදනම් විරහිත ප්‍රවෘත්ති හා මතවාදයන් ව්‍යාප්ත කිරීමට භාවිත කරමින් සිටී.

එවැනි නොමඟ යවන සුලු මතවාද රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම හා මහජනතාව වෙත වැරදි තොරතුරු ලබාදීමෙන් වැඩබිම් ඇතුළු විවිධ ස්ථානයන්හි නොසන්සුන්තාවක් නිර්මාණය කිරීම මෙවැනි සංවිධානාත්මක කණ්ඩායම්වල අරමුණ වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කිසිදු පාර්ශ්වයකගේ පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී අවබෝධයෙන් කටයුතු කරන මෙන් ද රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රජයේ නිල පුවත් ජනතාව වෙත ලබාදීමේ කාර්ය භාරය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වගකීම බැවින් කඩිනමින් තහවුරු කරන ලද තොරතුරු ජනතාව වෙත ලබාදීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

රටේ දේශපාලන හා ආර්ථික උන්නතිය මෙන්ම, ස්ථාවරත්වය වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් මහජනතාව වෙනුවෙන් මෙම අවස්ථාවේදී ජාතික හැඟීමෙන් හා නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම රටේ පොදු යහපත වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක්ව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *