ලොවපුරා හින්දු බැතිමතුන් දීපාවලී දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා හින්දු බැතිමතුන් අද(06) දීපාවලී උත්සවය සමරයි.

ඒ නිමිත්තෙන් හින්දු කෝවිල්වල විශේෂ පුද පූජාවන් පැවැත්වේ. දීපාවලී උත්සව දිනයේ දී අඳුර තුරන් වී ජීවිතයට නව ආලෝකයක් උදාවන බව හින්දු බැතිමතුන් විශ්වාස කරයි. එක්තරා කාලයක දී නරගාසුරන් නමැති අසුරයා විසින් සුරයන්ට බොහෝ පීඩාවන් ලබාදුනි.

තම ජීවිතය බේරා දෙන ලෙස සුරයන් විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කරනු ලබයි. එම ඉල්ලීමට සවන් දුන් විෂ්ණු දෙවියන්, තමා නරගාසුරන් නමැති අසුරයා විනාශ කරන බව පැවසුවේය. ඉන් පසු නරගාසුරන් සහ විෂ්ණු දෙවිඳුන් අතර පැවති යුද්ධයේ දී විෂ්ණු දෙවිඳුන් විසින් නරගාසුරන් සහ විනාශ කරනු ලැබීය. තමා මිය යන විට දවස ලොව පුරා වෙසෙන ජනතාව සැමරිය යුතු බවයි, නරගාසුරන් විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනූවයි, හින්දු ජනතාව දීපාවලී උත්සවය සමරනු ලබන්නේ. දීපාවලී දිනයේ දී හින්දු ජනතාව අලුයම අවදිවී, තම නිවාස අලංකාරවත් කරයි. අනතුරුව, කෝවිල් වෙත ගොස් ප්‍රථමයෙන් ඝන දෙවිඳුන් වැඳ පුදා ගනී. ඉන් අනතුරුව විෂ්ණු දෙවිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබාගනී.

ජන වර්ග අතර සහජීවනයට දීපාවලි උ‍ළෙල පිටිවහලක් – ජනපති

ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා අන්‍යෝන්‍ය අව‍බෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීප­ාවලි උළෙල මනා පිටිවහලක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

දීප­ාවලි උළෙල නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

ආධ්‍යාත්මික ශික්ෂණය, ප්‍රඥාව බඳු ගුණාංග මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යාවේ අන්ධකාරය පහ විය යුතු ය. එකී අරමුණ සාක්ෂාත් කරගනු වස් ලෝකවාසී හින්දු බැතිමතුන් පහන් දල්වා සමරන දීපාවලී උළෙල වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලත් අවස්ථාව පිළිබඳ බෙහෙවින් සතුටු‍ වෙමි.

පහනින් නැඟෙන ආලෝකයෙන් අයහපත නමැති අඳුර දුරුවී යහපත නමැති ආලෝකය පැතිරෙන්නා සේ ස්වකීය ජීවිත ද ආලෝකවත් වේවා යන්න දීපාවලියේ අරුතයි. ඒ සමඟම එකිනෙකා වෙත හෘදයාංගම සුබපැතුම් පිරිනමමින්, සෙනෙහස බෙදා හදා ගන්නා සංස්කෘතික උළෙලක් ලෙස ද දීපාවලිය ජනතාව සහෝදරත්වයේ එකිනෙකා බැඳ තබයි.

දශක කිහිපයක් තිස්සේ විරසකයන් හුදකලා කරනු ලැබ අනේක විධ දුක්ඛ වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා, අන්‍යෝන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් වනු ඇත. ඒ බව මනාව වටහා ගනිමින් උදාවන දීපාවලී උත්සවය අප අතර, සංස්කෘතික බැඳීමක් ගොඩනඟාගත හැකි අගනා අවස්ථාවක් බවට පත් කැර ගත යුතු බව මගේ හැඟීමයි.

නපුර දුරලන දීපාවලී උත්සවය සතුටින් මෙන්ම අර්ථාන්විතව සමරමින් ආදරය සහ යහපත් ගුණාංගයන් වගා කැර ගැනීමට උත්සුක වන මෙරට මෙන්ම, ලොව පුරා වෙසෙන සියලු හින්දු බැතිමතුන්ටත් මාගේ සුබපැතුම් පිරිනමමි.

දීපාවලි උත්සවයෙන් පිළිබිඹු වන්නේ අවබෝධය හා සංහිඳියාවයි- අගමැති

දීපාවලි උත්සවයෙන් පිළිබිඹු වන්නේ හින්දු භක්තිකයන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවත් සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අවබෝධය හා සංහිඳියාව බව දීපාවලි උත්සවයට ශුභාශිංසන පිරිනමමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අගමැති කාර්යාලය නිකුත් කළ එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ හින්දු ආගමික බැතිමතුන්, මහත් භක්තියෙන් සමරන දීපාවලි උත්සවය අද දිනට යෙදී ඇත. දීපාවලි උත්සවය තුළින් පිළිබිඹු වන්නේ, හින්දු භක්තිකයින්ගේ ආධ්‍යාත්මික ගුණවගාවත්, සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයින් අතර අවබෝධය හා සංහිඳියාවයි. හින්දු සම්ප්‍රදායට අනුව, දීපාවලි උත්සවයෙන් සැමරෙන්නේ, ක්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නැමති අසුරයා පරාජයකොට ලෝකයට ආ‍ලෝකයත්, ආශිර්වාදයත් ගෙන ඒමයි.

ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් ආගමික වතාවත්වල යෙදෙමින් දීපාවලි උත්සවය සමරනු ලබයි. මෙම උත්කර්ෂවත් දිනයෙන් සංකේතවත් වන්නේ අඳුර පරාජය කරමින් ආලෝකයත්, අසත්‍ය පරාජය කරමින් සත්‍යයත්, නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කමත් ජයග්‍රහණය කිරීමයි. මේ ප්‍රීතිමත් අවස්ථාවේ දී ශ්‍රී ලංකාවාසී සියලුම හින්දු භක්තිකයින් වෙත මාගේ උණුසුම් ශුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *