විශේෂ දීපාවලී සැමරුම් උත්සවයක් ජනාධිපති මන්දිරයේ දී

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ දීපාවලි යනු සමාජ සාධාරණත්වය සහ යුක්තිය ඉටු වූ දිනය බවයි.

රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලූ ජාතින් අතර සමගිය සහ සහජීවනය ශක්තිමත්විය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ජනාධිපතිතුමා සියලූ හින්දු බැතිමතුන් වෙත සිය සුභාශිංසන පිළිගැන්වීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක් සහ හින්දු බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *