ජාත්‍යන්තර අතපෙවීම් නොකළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් ගත් තීරණවලට ජාත්‍යන්තරය අත පෙවීම් සිදුනොකළ යුතු බව මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක සහ කන්සවෙටිවු පක්ෂ දේශපාලනඥ නේස්බි සාමිවරයා අවධාරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම ව්‍යවස්ථාවට සහ නීතියට අනුව සිදුකර තිබෙන බව ද ඒ සම්බන්ධයෙන් විවේචන සහ විරෝධතා සිදුකිරීම හිදුකේම දේශපාලන අවශ්‍යතාවක් පමණක් බව ද සඳහන්කර තිබේ.

සෑම රටකටම ව්‍යවස්ථාවක් තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා වර්තමානයේ ශ්‍රී ලංකාවේ අසාමන්‍ය දෙයක් සිදුවී නොමැති බව ද මහා බ්‍රිතාන්‍යයේ පවා මෙවැනි දේ සිදුවී තිබෙන බව ද කියාසිටී.

රජයේ පැවැත්මට යම්කිසි කාලසීමාවක් තීරණය කර තිබූ නමුත් එය ඊට පෙර අවසන් වීමේ හැකියාවක් ද තිබෙන අතර එය සාධාරණ හේතූන් මත බව ද පවසන නෙස්බි සාමිවරයා රටක විධායක ජනාධිපතිවරයාට තීරණ ගැනීමේ අයිතිය තිබෙන බව ද කියාසිටී. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක් බව පවසන ඒ මහතා අවස්ථා කිහිපයකදීම තමාට හමුවී තිබෙන බව ද ඔහු තම රටේ යහපත උදෙසා නව අගමැතිවරයකු පත්කිරීමට තීරණය කර තිබෙන බව ද සඳහන්කර ඇත.

අනෙකුත් රටවලට මේ සම්බන්ධයෙන් අතපෙවීම් කළ නොහැකි වන අතර ඒ ඒ රටවලට ආවේණික වූ ව්‍යවස්ථාවන් තිබෙන නමුත් මහා බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව සමඟ ඉතාමත් සමීපව කටයුතු කරන බව ද පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක දී සහාය දීමට සූදානම් බව ද එක් දේශපාලන පක්ෂයකට පමණක් පක්ෂපාතී නොවන බව ද කියාසිටී. ඒ හේතුවෙන් රටවල ස්වාධීනත්වයට අත පෙවීම් නොකරන ලෙස ලොව සෑම රටකම දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කරන බව ද හෙතෙම සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *