සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ මගින් තවත් වැව් දෙකකට ජීවය

(කොළඹ, ලංකාපුවත්) – සිඳුණු වැව් වලට යළි ජීවය ලබාදෙමින් ශ්‍රී ලාංකේය කෘෂි ව්‍යවසායකත්වය නගාසිටුවීමේ උදාරතර අරමුණ පෙරදැරිව සම්පත් බැංකුව දියත් කරන ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ වියළි කලාපයේතවත් වැව් දෙකක් ප්‍රතිසංස්කරණය කොටපසුගිය 30වනදා ජනතා අයිතියට පත්කරන ලදී.

සුවහසක් ජනයාගේ ජීවිත සනහාලමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කහටගස්දිගිලියඅඹගහවැව ග්‍රාමයේ අඹගහවැවෙහි සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය දිවුලන්කඩවල ග්‍රාමයේ ධාන්‍යාව වැවෙහි ද මෙලෙස දියවර මුදා හරින ලදී.සම්පත් බැංකුවේ ශාඛා බැංකුකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තුසිත නාකන්දල මහතා මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පත්කිරීමේ උළෙලවල ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේය.

සම්ප්‍රදායික සමාජ සත්කාරක වැඩසටහන් ආකෘතියෙන් මිදී ජනතාවගේ ජීවිත තුළ සැබෑ තිරසර වෙනසක් ඇති කිරීම සඳහා සම්පත් බැංකුව පෙරමුණ ගෙන තිබේ. ඒ අනුව, වැව් නවීකරණය කිරීම සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමෙන් නොනැවතී, සිය වැවට යළි පණ පෙවීම සඳහා ප්‍රදේශයේ ගොවි සමිති සහ පවුල්වලට අවශ්‍ය සහයෝගය ලබාදීමටත්, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ නියාමනය ලබාදීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය වැනි අදාළ පාර්ශ්ව සම්බන්ධ කරලීමටත් සම්පත් බැංකුව මෙම ව්‍යාපෘතිවලදී කටයුතු කළේය. ජනතාව කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතිවල තිරසර බව තවත් සනාථ කරමින් එම වැව් අනාගත පරපුර වෙනුවෙන් රැක බලාගැනීමේ වගකීම ගොවි සමිති වෙත පැවරිණි.

අඹගහවැව ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අනුරාධපුර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද, ධාන්‍යාව ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා මින්නේරිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීහු ද සහභාගී වූහ. එසේම මෙම සුවිශේෂී අවස්ථාවන් සඳහා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ද, සම්පත් බැංකුවේ නිලධාරීන් ද ප්‍රදේශවාසීන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

අඹගහවැව ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් 76ක 300කට අධික පිරිසකට ද ධාන්‍යාව ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් 96ක 400කට අධික පිරිසකට ද සෘජු ප්‍රතිලාභ හිමිවේ. අඹගහවැව මගින් කුඹුරු අක්කර 40කට අධික ප්‍රමාණයක් ද ධාන්‍යාව වැව මගින් කුඹුරු අක්කර 112කට අධික ප්‍රමාණයක් ද ජලයෙන් පෝෂණය වේ.

“අප දශක දෙකක කාලයක පටන් ‘වැවට ජීවයක්’ වැඩසටහන කරමින් මෙරට අභාවයට ගිය වැව් ප්‍රතිසංස්කරණයට කටයුතුකර තිබෙනවා. විශේෂයෙන් වියළි කලාපයේ ගොවි ජනතාවගේ ජීවනාලිය බඳු වැවක් ප්‍රතිසංස්කරණය කිරීම යනු ඔවුන්ගේ ජීවිතවල මෙන්ම සමස්ත පරිසරයටත්, කෘෂි ව්‍යවසායකත්වය නගාසිටුවමින් රටේ ආර්ථිකයට තිරසර අන්දමින් දායකත්වය ලබාදෙන ඉතා වැදගත් කර්තව්‍යයක්. මෙම සමාජ සත්කාරක ක්‍රියාකාරකම් හරහා සම්පත් බැංකුව ගොවි ජනතාවට අවශ්‍ය මූලික යටිතල පහසුකම් ගොඩනැගීමටත්, ස්වභාවික ජෛව-පද්ධතිය සංරක්ෂණය කිරීමටත්, රැකියා අවස්ථා උත්පාදනය හරහා සමස්තයක් ලෙස මෙරට දල දේශීය නිෂ්පාදිතයට හා ආර්ථිකයට තිරසර ලෙස දායකත්වය ලබාදෙනවා. සම්ප්‍රදායික සමාජ සත්කාරක වැඩසටහන්වලින් ඔබ්බට යමින් ජනතා සහභාගිත්වයෙන් යුතුව ඔවුන්ගේ ජීවිත සැබෑ වෙනසකට ලක් කරන මෙවැනි සද්කාර්යයක් දියත් කිරීමට හැකිවීම පිළිබඳ අප නිහතමානීව ආඩම්බර වනවා” යනුවෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් පළ කරමින් සම්පත් බැංකුවේ මානව සම්පත් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ලලිත් වේරගොඩ මහතා සඳහන් කළේය.

වැව් නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් එම ජෛව පද්ධතියට සිදුවී ඇති අහිතකර බලපෑම නතර කිරීම, වසරින් අඩකට වැඩි කාලයක් පුරා වියළි කලාපයේ ජනතාව ජලය නොමැතිව විඳින අනේකවිධ දුක් ගැහැට සඳහා පිළියමක් ලබාදීම, වගා කටයුතුවලට නිසි පරිදි ජලය නොලැබීමෙන් සිදුවන හානිය අවම කර එම ප්‍රදේශවල ජනයාගේ ජීවන තත්වය නගාසිටුවීම සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ වැඩසටහන දියත් කිරීමේ මූලික අරමුණු වේ. තවද, වියළි කලාපයේ ගොවි ජනතාවට යල සහ මහ යන කන්න දෙකම වගාකිරීමේ අවස්ථාව උදාකරමින් වසර පුරාම විශ්වසනීය ජල සැපයුමක් ලබාදීමත්, කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ගේ ජීවන තත්වයනගාසිටුවීමත් එම ව්‍යාපෘතියේ අරමුණු අතර ප්‍රමුඛස්ථානය ගනී.

සම්පත් බැංකුවේ සමාජ සත්කාරක රාමුවේ ප්‍රජාව බලගැන්වීම” (Empowerment of Community) යන තේමාව යටතේ දියත් කරන ‘වැවට ජීවයක්’ ව්‍යාපෘතිය මගින් එම බැංකුව මීට සමාන ව්‍යාපෘති රැසක් මේවන විටත් දියත් කර තිබේ.මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙවැනි තවත් ව්‍යාපෘති මෙරට ජනතාව වෙනුවෙන් දියත් කිරීම සම්පත් බැංකුවේ අභිප්‍රායයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + seventeen =