ජනපතිගේ තීරණය පිළිබද විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්ව දැනුවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පෙළඹවූ සිද්ධිදාමය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ(12) රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙත කරුණු පැහැදිලි කළේය.

ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල වන බව අවධාරණය කෙරිණ. දීප ව්‍යාප්ත ඡන්දයකින් තේරීපත් වූ ජනාධිපතිවරයා සිය අධිකාරී බලය ලබා ගන්නේ ඍජුවම ශ්‍රී ලංකාවේ මහජනතාවගෙන් බව ඔහු පැවැසීය.

රජයේ අංග අතර ඇතිවන මතභේදයකදී ස්වාධිපත්‍යයෙන් යුත් මහජනතාවගෙන් වරමක් සෙවීම ප්‍රජාතන්ත්‍රවාදයෙහි ජයග්‍රහණය සහතික කිරීමක් වි තිබේ. රටේ අභ්‍යන්තර දේශපාලන වෙනස්කම් මධ්‍යයේ ශ්‍රී ලංකාව පුරා අඛණ්ඩව පවතින සාමකාමී වාතාවරණය පිළිබඳවද අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කර තිබේ. එහි ගෞරවය ශ්‍රී ලංකාවේ ජනතාවට හිමිවන බවත්, එම වාතාවරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් තවදුරටත් තහවුරු කරනු ඇත.

වර්ධනය වෙමින් පවතින නොසන්සුන්බව හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ගෙන් බැහැරවීම යන හේතූන් මත අවදානමකට ලක්විය හැකිව තිබූ, ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිත බව සහතික කිරීමෙහිලා තමන් සතු වගකීම, රැගෙන විධායකය විසින් ඉටු කරනු ලැබ තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම අභ්‍යන්තර කරුණ විසඳීමෙහිලා ශ්‍රි ලංකාවේ දීර්ඝ කාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සතු ශක්තිය කෙරෙහි රැස්වීමට සහභාගී වූ රාජ්‍යතාන්ත්‍රිකයෝ රැසක්ම සිය විශ්වාසය පළ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *