අගමැතිකම ලොකු දෙයක් නොවෙයි – අගමැති මහින්ද කියයි

(කොළඹ, ලංකාපුවත්) – තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී වීශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

පාර්ලිමේන්තුවේ ඊයේ වගේ අඳුරු දිනයක් තමන් නොදුටු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය. “පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා වන විට ජනතාව සිටියේ දැඩි පීඩනයෙන්. ඉන්ධන මිල සුත්‍රය, බදු බර, ඉඩම් විදේශිකයින්ට විකිණීම ආදී කාරණා නිසා ජනතාව දැඩි අප්‍රසාධයෙන් පසුවුණා.

ජනාධිපතිවරයා ආර්ථික කමිටුව විසුරුවන්න කටයුතු කලේ. ඒ සමයේදී පොලිසියේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සමග එක්ව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න උත්සහ දරන බව ආරංචි උනා. ඒ අනුවයි ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් කරගන්න තීරණය කරන්නේ. ඒ අනුවයි ජනාධිපතිවරයා මට ආරාධනා කළා අගමැතිකම පිළිගන්න කියලා. ඒ අනුව රටට වෙනුවෙන් වෙන්න ගිය විනාශය වලක්වා ගන්න. ඒ නිසා මම රට ආරක්ෂා කරන්න ඒ වගකීම භාරගන්න තීරණය කලේ.

අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට මැතිවරණයක් ඉල්ලුවා, නමුත් රජය ඒ සදහා කටයුතු කලේ නැහැ. පළාත් පාළන ජන්දය පැවැත්වීම පවා පමා කළා.“ යනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *