ජනපති විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන ජනාධිපති කාර්ය සාධන බළකායන්හි කි‍්‍රයාකාරිත්වය සහ විශේෂ ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, ග‍්‍රාම ශක්ති ජාතික වැඩසටහන, එල්ලංගා වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන, ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් මෙන්ම ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහනේ කි‍්‍රයාකාරිත්වය සහ ප‍්‍රගතිය මෙහි දී විශේෂ සාකච්ඡාවට බඳුන් විය.

දිළිඳුකම පිටුදැකීමේ රජයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මේ වන විට දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කෙරෙන අතර වැඩසටහනේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ තවදුරටත් පුළුල් දැනුමක් ප‍්‍රාදේශීය රාජ්‍ය නිලධාරින්ට ලබා දීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය.

ග‍්‍රාමීය ප‍්‍රජාව ඵලදායී ආර්ථික හා නිෂ්පාදන කි‍්‍රයාවලියකට යොමු කරමින් ග‍්‍රාමනිලධාරි වසම් මට්ටමින් පිහිටුවා ඇති ග‍්‍රාමශක්ති නිෂ්පාදන සමිති සඳහා ලබා දෙන ප‍්‍රතිපාදන ශක්තිමත් කිරීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදී.

2020 වසර වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා ග‍්‍රාමශක්ති ජනතා වැඩසටහන යටතේ ගෙන යන වැඩපිළිවෙළට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක පාසල් දරුවන්ට කිරි විදුරුවක් ලබා දීමේ වැඩසටහන එළඹෙන ජනවාරි මාසයේ සිට කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා මෙහි දී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.

පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ යටතේ කි‍්‍රයාත්මක පැළ සිටුවීමේ ජාතික වැඩසටහන්වල ප‍්‍රගතිය සමාලෝචනයට ලක් කෙරිණි.

එමෙන්ම දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු විය. වැසි සමය සහිත මෙම කාලය එම වගා කටයුතු ප‍්‍රවර්ධනය සඳහා ඉතා උචිත බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වගා කටයුතු සඳහා ගොවි ජනතාවට නොමිලේ බීජ ලබාදීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට ද උපදෙස් දුන්නේ ය.

එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත වැඩසටහනේ ප‍්‍රගතිය ද සාකච්ඡාවට බඳුන් විය. එහිදී ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් වැව් හෑරීමේ කටයුතු තාවකාලිකව ඇණ හිට තිබුණ ද රොන්මඩ ඉවත් කරමින් වැව් ශුද්ධ පවිත‍්‍ර කිරීමේ කටයුතු අඛණ්ඩව කි‍්‍රයාවට නංවන ලෙසයි.

වසර 2030 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සැකසෙන ජාතික තිරසර කතිකාවේ මෙතෙක් ප‍්‍රගතිය සහ පිබිදෙමු පොළෙන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය ද සමාලෝචනයට ලක් කෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ජනතා සිතුම් පැතුම් හඳුනාගෙන ඔවුන්ගේ ප‍්‍රමුඛ ගැටලුවලට විසඳුම් ලබාදීමේ හා ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් කි‍්‍රයාත්මක මෙම සියලු සංවර්ධන වැඩසටහන් නිසි අන්දමින් මෙහෙයවමින් එහි කඩිනම් ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කැපවීම සියලු නිලධාරින්ගේ වගකීම බවයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ජනාධිපති කාර්යාලයේ සියලු අතිරේක ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *