ජනපතිවරණයට සහ මහ මැතිවරණයට මුහුණ දීමට සූදානම් – රනිල්

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවක් පිහිටවූ පසු ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට එකවර මුහුණ දීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ව්‍යවස්ථානුකූල ආණ්ඩුවක් පිහිටුවා සියලුම දේශපාලන පක්ෂ එකතු කර ගෙන ඔවුන් සමඟ සාකච්ජා කර මැතිවරණ දෙකටම එකවර මුහුණ දෙන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කොළඹ ලිප්ටන් වටරවුමේදී ඊයේ (15) හවස පැවැත්වූ යුක්තියේ ජන හඬ ජන රැලිය අමතමින් එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා මේ බව කීය. වසර අසූ පහක සිට පැවැත එන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පාගා දැමීමට කිසි විටකත් ඉඩ නොදෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීමේ සටන කොළඹට පමණක් සීමා නොකර ගම් දනව් කරා රැගෙන ගොස් ජයග්‍රහණයෙන් අවසන් කරන බවද කීය.

යහපාලන රජය යටතේ සංවර්ධන වැඩ කටයුතු රාශියක් ක්‍රියාත්මක කළ බව පැවසූ වික්‍රමසිංහ මහතා රට අක්‍රීයව පවතින වර්තමාන තත්ත්වය නිසා එම සංවර්ධන වැඩ පිළිවෙළ නතර වී ඇති බවත් හැකි ඉක්මනින් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කර ජනතාවට අහිමි වූ සියල්ල යළි ලබා දීමට කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ජන රැළිය අමතමින් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි පුද කිරීමට වුවත් තමා සුදානම් බවයි.

ජන රැළිය ඇමතූ කථිකයින් බොහෝමයක් පැවසුවේ ජනාධිපතිවරණයක් පවත්වන ලෙස තමන් අභියෝග කරන බවයි.

රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පාඨලි චම්පික රණවක, ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ද පූජ්‍ය දඹර අමිල හිමි, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ජන රැළිය ඇමතූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *