ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවය 29වනදා කොළඹදී

(කොළඹ, ලංකාපුවත්) –ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් මස 29 දා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වේ.

සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික වශයෙන් ඇගැයීමට ලක් කිරීම වස් මෙම සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පවත්වනු ලබන්නේ අටවන වරටය.

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා සහභාගිවීමට නියමිතය.

රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය ,ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය,සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය,සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය,ව්‍යාපාර හා වානිජ්‍ය,අන්තර්ග්‍රහනය හා බලගැන්වීම ,ඩිජිටල් විනෝදාස්වාදය යන කාණ්ඩ යටතේ සම්මාන ප්‍රදානය සිදුකෙරේ.

මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.

නව අදහස් හා නවෝත්පාදනයන්ට දොරටු විවෘත කර දීම සම්මාන ප්‍රදානෝත්සවයේ අපේක්ෂාව බවත් ඒ අනුව ආයතනයක හෝ තනි පුද්ගලයෙකුගේ එම විමධ්‍යගත අදහස් හා සංකල්ප එකම වේදිකාවකට ගෙන ඒම අරමුණ බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් මේ සදහා ඉදිරිපත් වු නිර්මාණයන් විනිශ්චය කරන ලද බවත් අයැදුම්පත් 190 ක් පමණ මෙවර ලැබුණු බවත් ඒ අතුරින් මෙදින නිර්මාණ 51ක් පමණ සම්මානයට පාත්‍ර වන බවත් නියෝජිතායතනය වැඩිදුරටත් කරයි.

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියුක්ති කර්යංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 112369099 දුරකථන අංකයට ඇමතීමෙන් වැඩිවිස්තර දැන ගතහැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *