රාජ්‍ය වියදම් ලබාදීමේ ගැටලුවක් නැහැ – මුදල් අමාත්‍යංශ ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ රාජ්‍ය අංශයේ සියලු සංවර්ධන හා මහජන සේවා සඳහා අවශ්‍ය මුදල් ලබාදීමේ කිසිඳු ගැටලුවක් මතුවී නැතැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේය.

වසර 2018 සඳහා රජයේ සේවක වැටුප් හා පරිපාලන කටයුතුවලට අවශ්‍ය මුදල් වෙන්කිරීම් සියල්ලටම දැනටමත් විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත්කොට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන ඇත.

ඒ අනුව සියලු අමාත්‍යංශවල කටයුතු සඳහා කිසිඳු බාධාවකින් තොරව මුදල් ලබාදිය හැකි බවද ආටිගල මහතා කීය.

රටේ පවතින දේශපාලන ව්‍යාකූලතා නිසා රාජ්‍ය සේවකයින්ගේ පඩිනඩි සංවර්ධන හා පොදු වැඩසටහන්වලට මුදල් ලබාදීමට පවා ගැටලු මතුවී ඇතැයි විපක්ෂයේ ඇතැමකු නඟන චෝදනාවල සත්‍යතාවයක් තිබේදැයි අප කළ විමැසීමකට පිළිතුරු ලබාදෙමින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පැහැදිලි කිරීම සිදු කෙළේය.

ලබන වසර (2019) සඳහා අය-වැයක් ඉදිරිපත් කිරීම වෙනුවට මේ වනවිට මතුව ඇති තත්ත්වය මත අනිවාර්යෙන්ම අතුරු සම්මත ගිණුමක් ‍ඉදිරිපත්කොට අදාළ මුදල් වෙන් කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වේ. එසේ සිදු කිරීමට මත්තෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයකට යන්නේ නම්, ඉදිරි මාස තුනක කාලයේ රජයේ වියදම්වලට අනුමැතිය ලබා ගැනීමට ජනාධිපතිවරයා තම ව්‍යවස්ථානුකූල බලතල භාවිතාකොට කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *