‘සම්පත් සවිය‘ වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකත්ව කුසලතාවයන් වර්ධනය කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මෙරට නැගී එන තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම උදෙසා සම්පත් බැංකුවේ ‘සම්පත් සවිය‘ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ ‘නව වයාපාර ආරම්භ කිරීම‘ පිළිබඳ එක් දින වැඩමුළුවක් සම්පත් බැංකුව විසින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ගාල්ල ප්‍රාදේශීය වාණිජ මණ්ඩලය සමඟ එකමුතුව පසුගියදා ගාල්ල නගරයේ දී සාර්ථකව පවත්වන ලදී.

සම්පත් බැංකුවේ අධ්‍යක්ෂකවරයකු සහ ප්‍රවීණ කළමනාකරණ උපදේශකයකු, විධායක පුහුණු උපදේශකයකු හා ලේකඛයකු වන දීපාල් සූරියආරච්චි මහතා මෙන්ම මනෝවිද්‍යා පුහුණු උපදේශකයකු සහ ලේකඛයකු වන චන්දන ගුණවර්ධන මහතා වැනි ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මඩුල්ලක් විසින් නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මෘදු කුසලතාවයන් සංවර්ධනය කිරීම පිළිබඳව දේශන පැවැත්වූහ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටි සිසුන්, ගාල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් මෙන්ම ප්‍රදේශයේ තරුණ ව්‍යවසායකයින් ද ඇතුළුව 400කට අධික පිරිසක් මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.

තරුණ විරැකියාව මෙරට පවත්නා බරපතල ගැටළුවක් වන අතර මෙය මැනවින් කළමනාකරණය නොකළහොත් අනාගතයේ දී සිතා ගත නොහැකි අන්දමේ සමාජ අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බව නිසැකය. ‘සම්පත් සවිය‘ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන තුළින් ශ්‍රී ලාංකීය තරුණ පරපුර රැකියා උත්පාදකයින් ලෙසින් මෙන්ම ව්‍යාපාරික නායකයින් ලෙසින් මෙරට ආර්ථීක සංවර්ධනයට දායාද කිරීමට අපි දායක වෙනවා. මෙම වැඩමුළුව එකී සමාජයීය ගැටළු සඳහා තිරසාර විසඳුමක් සපයනු ඇතැයි අපි තරයේ විශ්වාස කරනවා˜ යැයි සම්පත් බැංකුවේ ශාඛා බැංකුකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තුසිත නාකන්දල මහතා සිය අදහස් දක්වමින් පවසා සිටියේ ය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව සෑම වසරකම අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින සිසුන්ගෙන් 30%ක් අ.පො.ස. උසස් පෙළ සඳහා සුදුසුකම් නොලබන අතර අ.පො.ස. උසස් පෙළ සිසුන්ගෙන් 11%ක් පමණක් මෙරට විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට වරම් හිමිකර ගනියි. මෙම තත්ත්වය දේශීය ආර්ථීකය තුළ විවිධ අසමානතාවයන් ජනිත කරලීමට විශාල වශයෙන් හේතු පාදක වී ඇත. අනාගතය දෙස බැලීමේ සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව ව්‍යාපාරික සාර්ථකත්වය ළඟා කරගැනීමට අවශ්‍ය කුසලතාවයන් සහ ආකල්පයන් තාරුණ්‍යය තුළ ස්ථාපිත කිරීම මෙම විරැකියා ගැටළුවට සාර්ථක විසඳුමක් සපයනු ඇත.

සම්පත් බැංකුවේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස දියත් කරනු ලබන ‘සම්පත් සවිය‘, ව්‍යවසායකයින් නඟා සිටුවීමෙහිලා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි. මෙම වැඩසටහන තුළින් මේ වනවිට අපනයනකරුවන් ඇතුළුව 2,000කට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තාඬණික මෙන්ම මූල්‍ය පහසුකම් සපයා ඇත. ගාල්ල නගරයේ පසුගියදා පැවැත්වූ වැඩමුළුව සඳහා සහභාගීවූවන්ට ව්‍යවසායක චින්තනය, ඵලදායී නායකත්වය සඳහා වූ ප්‍රධාන ප්‍රවේශයන්, නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණය පිළිබඳ අවබෝධය මෙන්ම සාර්ථකත්වය කරා ගමන් කිරීමේදී තාත්වික අරමුණු පිහිටුවා ගැනීමේ වැදගත්කම යන තේමාවන් යටතේ දැනුම ලබාදීමට සහ එම කුසලතාවයන් ඔප්නැංවීමට කටයුතු කරන ලදී.

2013 වර්ෂයේ ‘සම්පත් සවිය‘ වැඩසටහන දියත් කළ දින පටන් මේ දක්වා දේශීය ආර්ථීක වර්ධනය අරමුණු කරගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි පැවැත්වීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *