විධිමත් පත්වීමක් නැති සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම්

(කොළඹ, ලංකාපුවත්) –දීර්ඝ කාලයක සිට විධිමත් පත්වීමක් නොමැතිව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14000 කට වැඩි පිරිසකට විධිමත් ස්ථිර පත්වීම් ලබා දීමට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කරයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබුවේ සමෘද්ධි ව්‍යපාරයට අයත් වෘත්තීය සමිති ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපාය (පළමු අදියර) දෙවන මහළේ පිහිටි නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

සමෘද්ධි වැඩසටහන තුළ දීර්ඝ කාලයක සිට විසඳුම් නොලැබුණු ගැටළු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමට සමෘද්ධි වෘත්තිය සංගම් අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබිණි. එ අනුව සමෘද්ධි වැඩසටහනට සම්බන්ධ සියලු වෘත්තීය සංගම්වලට මෙම සාකච්ඡාවට අරාධනා කර තිබූ අතර සමස්ත ලංකා සමෘද්ධි කෘෂී නිලධාරීන්ගේ සංගමය හා සමස්ත ලංකා සමෘද්ධි කළමනාකාරවරුන්ගේ සංගමය නියෝජනය කරමින් නිලධාරීහූ රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

එහිදී සමෘද්ධි වෘත්තිය සංගම් නියෝජිතයින්ගේ ප්‍රධාන ගැටළුව වූයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හා සමෘද්ධි කළමානකාරණ සේවකයින් විශාල පිරිසකට විධිමත් ස්ථිර පත්වීම් නොමැති බවයි. මෙතෙක් පැවති රජයන් මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට නිසි ක්‍රියාමාර්ග නොගත් හේතුවෙන් සේවක අයිතීන් දිනාගැනීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම වෘත්තීය වැඩවර්ජන, උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවද ඔවුහූ පෙන්වා දුන්නේය. ඇතැම් නිලධාරීන් මෙම සේවක ගැටළුවට විසඳුම් ලබාදීම හිතාමතාම මගහැරිය බවද වෘත්තීය සංගම් නියෝජිතයෝ චෝදනා කළහ. එමනිසා මෙම සේවකයින් මුහුණ දී සිටින ප්‍රධාන ගැටළුවට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස වෘත්තීය සංගම් නායකයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කළ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දීමට පවතින බාධාවන් පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදි. එහිදී තනතුරුවලට අදාළ වැටුප්තල, සේවා කාලය පිළිබඳ ගැටළු, විශ්‍රම වැටුප් දායකත්වය ආදී කරුණු පිළිබඳ දීර්ඝ ලෙස සාචච්ඡා කෙරිණි. එම සාකච්ඡාවෙන් අනතුරුව උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයින පුරා සේවය කරන 14,000 කට අධික සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලබාදීමට අමාත්‍යවරයා තීරණය කළ අතර මෙම පත්වීම් ලබා දීමට දීර්ඝ කාලයක් නොගෙන ඉදිරි සතිය ඇතුළත පත්වීම් ලබා දීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

ඊට අමතරව සමෘද්ධි කාළමනාකාරවරුන්ට පත්වීම් ලබාදීමේ ක්‍රියාවළිය සිදුවන්නේ රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින් බැවින් එම පත්වීම්ද හැකි ඉක්මනින් ලබා දීමට අමාත්‍යාංශ නිලධාරීන්ට මැදිහත් වී ක්‍රියා කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

තවද මෙම තනතුරුවල සේවයේ සිටියදී මියගිය සේවක මහත්ම මහත්මීන්ට විධිමත් පත්වීම් නොලැබීම නිසා විශාල අසාධාරණයක් සිදුව ඇති බවත් එම මියගිය සේවක මහත්ම මහත්මීන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

සමෘද්ධි අමාත්‍යාංශයේ පරිපාලන කටයුතුවල දුර්වලතා පිළිබඳවද මෙහිදී සාකච්ඡ කළ අතර එහිදී වෘත්තීය සමිති සංගම් නියෝජිතයින් කියා සිටියේ සේවකයින් 500 කට අධික පිරිසකට විවිධ වැරදි චෝදනා හේතුවෙන් සාධාරණ පරීක්ෂණ නොපවත්වා වැඩ තහනමට ලක්ව සිටින බවත්, එයින් එම සේවකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට විශාල අසාධාරණයක් සිදු වී ඇති බවයි. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ විවිධ චෝදනා නිසා වැඩ තහනමට ලක්ව සිටින සේවකයින්ට විරුද්ධව තිබෙන චෝදනා පිළිබදව කඩිනමින් පරීක්ෂණ අවසන් කර එම සේවක මහත්ම මහත්මීන්ටද සාධාරණය ඉටුකිරීමට පියවර ගන්නා ලෙසයි.
සාකච්ඡාවෙන් අනුතුරුව සමෘද්ධි සංගම් නියොජිතයින් ප්‍රකාශ කර සිටයේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ පැවති සාකඡ්චාවෙන් අනතුරුව එතුමා ගත් ශ්‍රේෂ්ඨ පියවර ඉතිහාසගත වන බවයි. සමෘද්ධි වැඩසටහ ක්‍රියාවට නංවන සියලුම නිලධාරීන්ටත්, සෑම අංශයක්ම නියෝජනය කරන සියලුම සේවක මහත්ම මහත්මීන්ටත්, මෙරට ලක්ෂ 14 කට අධික සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වලටත් තම බලාපොරොත්තු ඉටුවන සුවිශේෂී ජයග්‍රහණයක් අද දින හිමි වූ බවත් එම සියලු දෙනා වෙනුවෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාට සිය ප්‍රසංශාව පළකර සිටින බවද වෘත්තීය සංගම් නියෝජිතයින් පැවසීය.

මෙම වෘත්තීය සංගම් සාකච්ඡාවට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, සමස්ත ලංකා සමෘද්ධි කෘෂි නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ, එහි ලේකම් ජගත් කුමාර, සමස්ත ලංකා සමෘද්ධි කලමානාකාරවරුන්ගේ සංගමයේ සභාපති රනුග්ගේ යන මහත්වරු ඇතුළු ජ්‍යේෂඨ නිළධාරීහූ රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *