සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 7000 කට පළමු අදියර යටතේ ස්ථීර පත්වීම්

(කොළඹ, ලංකාපුවත්) –සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14,400 කට වැඩි පිරිසකට ස්ථීර පත්වීම් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ පත්වීම් 7000 ක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට(30) සිදු කෙරේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එය සිදු කරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

දුගී දුප්පත්කම මෙරටින් තුරන් කිරිමේ අරමුණින් ආරම්භ කළ සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ 27,000 කට අධික පිරිසක් සේවය කරනු ලබයි. එම සේවකයින් අතරින් 14,000 අධික සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට මේ වනතුරු ස්ථිර පත්වීම් නොමැත. දිර්ඝ කාලයක් පුරා පැවැති මෙම සේවක ගැටලුවට විසඳුම් ලබා දීමට පැවැති විවිධ රජයන් උත්සාහ කර තිබුණද මෙම සේවකයින්ට සාර්ථක විසඳුමක් ලබා දීමට අසමත් විය.

ඒ පිළිබඳව විශේෂ අවධානය යොමුකළ විමල් වීරවංශ අමාත්‍යවරයා ස්ථිර පත්වීම් නොමැති සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14,000 ක අධික පිරිසට ස්ථිර පත්වීම් ලබා දීමට තීරණය කළේය. ඒ අනුව පළමු අදියර යටතේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් 7000 කට ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් හෙට දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතය.

ඇමති විමල් වීරවංශ මහතා මෙම අදහස් පළකළේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමෙ වැඩසටහන පිළිබදව බත්තරමුල්ල, සෙත්සිරිපාය (පළමු අදියර) දෙවන මහළේ පිහිටි නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *