පසුගිය වසරේ රිය අනතුරු ජීවිත 3,152ක් අහිමි කරයි

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ දී පමණ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 3,152දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. දිනපත වාර්තාවන රිය අනතුරු සංඛ්‍යාව විශාල වේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවනතාවක් පෙන්නුම් කෙරේ. දිනකට පුද්ගලයින් 08දෙනෙකු මාර්ග අනතුරු නිසා මිය යන අතර ඉන් වැඩිම පිරිස අවුරුදු 15ත් 44ත් අතර වයසේ පසුවන රටේ සංවර්ධනයට උරදෙන ශ්‍රමබලකායේ සාමාජිකයන් වේ.

මරණයට පත්වන පුද්ගලයන්ට අමතරව තවත් දහස් ගණනක් සදාකාලික ආබාධිත තත්ත්වයට ලක්වී ජීවිතාන්තය දක්වා ඔත්පලව කල් ගත කරති. එබැවින් මාර්ග අනතුරු රටේ සංවර්ධනය අඩාල කරන ප්‍රබල අභියෝගයක් බවට පත්ව ඇත.

මරණයට පත් වූ පුද්ගලයන් සලකා බලන විට යතුරුපැදිකරුවන්, පදිකයන් හා වාහනවල ගමන් කරන මගීන් වැඩි වශයෙන් මරණයට පත්ව තිබේ.

අනතුරට පත්වූ වාහන පිළිබඳ සැලකීමේ දී යතුරුපැදි සහ ත්‍රිරෝදරථ ඉතා අනාරක්‍ෂිත වාහන බව පෙනේ.

අනතුරු සිදුවීමට හේතු වශයෙන් අධික වේගයෙන් වාහන පැදවීම්, බීමත්ව රිය පැදවීම්, ජංගම දුරකථන භාවිතා කරමින් රිය ධාවනය, මාර්ග නීති පිළිනොපැදීම සහ නිදිමත හා අධික වෙහෙසට පත්ව සිටියදී රිය පැදවීම ප්‍රධාන වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ හදිසි අනතුරු වැළැක්වීමේ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *