දහනවවැනි සංශෝධනයට ජනපති කැපවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ හරය සහ එමඟින් ඇති කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂාකරගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින් දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නාවූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැපවී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක සඳහන්වෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද කියා සිටී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව, එතුමාගේ මූලිකත්වයෙන් සහ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත කර ගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරි තත්ත්වය විසඳීම සඳහාය.

එම සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබේ. එය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලැබූ සැබෑ ජයග්‍රහණයක් වන අතර අපගේ මාතෘභූමිය නූතන යුගයකට ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වූවකි. එබැවින් 19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමගින් ඇති කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින්, දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදුකිරීමට ජනාධිපතිතුමන් කැපවී සිටින බවද අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *