ඒකීය රාජ්‍යයක දේශපාලන විසඳුමකට කැප වෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඒකීය රාජ්‍යයක් තුළ හිඳිමින් සංහිඳියාව මුල් කර ගත් දේශපාලන විසඳුමකට එළැඹෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරි මහ මැතිවරණයේ දී සහ ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ තනියෙන් ඉදිරිපත් වී තුනෙන් දෙකක බලයක් ලබා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ මහතා ඒ සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යනුවෙන් අලුත් දේශපාලන සන්ධානයක් බිහි කරන බවත් කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණ මුලීකව සංවිධාන කළ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ ජනබල මෙහෙයුම මහ ජනතා රැලියට සහභාගි වෙමිනි.

අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ගාලු මුවදොර පිටියේ දී ඊයේ (17)මෙම ජන රැලිය පැවැත්වුණු අතර දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනතාව පැමිණ සිටියහ. අලුත් දේශපාලන සන්ධානය පිහිටුවීමේ කටයුතු මේ දිනවල නීතීඥවරුන් කරගෙන යන බව සඳහන් කළ අගමැතිවරයා ලබන සිකුරාදා පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර එය සම්මත කර ගන්නා බවත් පැවසීය.

මිරිස් කුඩු ගහන සමාජයක් නොව නිදහස් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමටත් ව්‍යවස්ථාව, අධිකරණය සහ මුලික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහාත් සඳහා සැමගේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ සඳහන් වන බව කී අගමැතිවරයා එම සංශෝධනය සම්මත කර ගැනිම සඳහා පොහොට්ටුවද පාර්ලිමේන්තුවේදී ජන්දය ප්‍රකාශ කළ බව කීය.

මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය භාර ගත් බව දැන් ප්‍රකාශ කරන බව කී වික්‍රමසිංහ මහතා මැතිවරණයක් පැවැත්විමට එපමණයට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව යෝජනවාක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබූ බවද කීය. කුමන කාලයක මැතිවරණය පැවැත්විය යුතුදැයි සෑම පක්ෂයකින්ම විමසන බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *