චීන ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ සංවත්සර සමුළුව ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – “ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය” ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සර සැමරුම් සමුළුව අද (18) උදෑසන චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්විය.

විවෘතභාවය අඛණ්ඩ ලෙස ව්‍යාප්ත කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සැමරුම් සමුළුවේදී අවධාරණය කර තිබේ. චීනය අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණ හා යුක්ති සහගත බව සහ සහයෝගතා හා ජයග්‍රහණ හිමි නව ජාත්‍යන්තර සබඳතාව ‍ගොඩනැගීම ඉදිරියට ගෙන යනු ඇති බව හෙ‍තෙම එහිදී පැවසීය.

බහුපාර්ශව වෙළඳ ක්‍රමයන්ට චීනය අනුබල දෙමින් වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරනු ඇති බව හෙතෙම සඳහන් කළේය. “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීම වැදගත් කොට සළකමින් චීනය විවිධ පාර්ශව සමඟ ජාත්‍යන්තර සහයෝගතා නව වේදිකාවක් නිර්මාණය කරනු ඇතැයි ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගෙවීගිය වසර 40 තුළ චීනයේ ආනයන හා අපනයන වෙළඳ භාණ්ඩ වල සමස්ත වටිනාකම 22.8 කින් වැඩි වී ඇත. චීනය මේ වනවිට ලෝකයේ දෙවැනි ප්‍රධානතම ආර්ථික ඒකකය හිමි රට මෙන්ම දැවැන්ත කර්මාන්ත හිමි රටවල් අතරින් පළමු රට වේ. මේ වනවිට විශාලතම වෙළඳ පළ හිමි රට මෙන්ම ලොව විශාලතම විදේශ විනිමය සංචිතයක් හිමි රට බවට චීනය පත් වී තිබේ.

මෙම සමුළුවේදී විදේශීය මිත්‍රයින් 10 දෙනෙකුට චීනයේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් දැක්වූ දායකත්වයට මිත්‍රත්ව පදක්කම් පිරිනැමිණ. ඔවුන් චීනය හා විදේශීය රටවල් අතර සහයෝගීතා ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන වශයෙන් කටයුතු කළ පුද්ගලයින් වේ.

චීන කොමියුනිස්ට් පක්ෂය, මුල සිටම ජනතාවගේ සුව පහසු ජීවිත පිළිබඳ අභිලාෂය, අරමුණක් වශයෙන් සළකා ක්‍රියා කළ බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම සමුළුවේදී විශේෂයෙන් සඳහන් කර සිටියේය. එමෙන්ම විවෘතභාවය ඉදිරියටත් අඛණ්ඩව ව්‍යාප්ත කළ යුතු බව එතුමා අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *