එකම දිනයක සියලු පළාත් සභා ඡන්ද පවත්වනවා – ඇමති වජිර අබේවර්ධන

(කොළඹ, ලංකාපුවත්) – ” පසුගිය පාලන කාලවල දී රාජ්‍ය බලය යොදා මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් වරින් වර එක් එක් පළාත් සභාව වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කරලා හැකි ඉක්මණින් යොදා ගන්නා දිනයක එකවර සියලුම පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා ” යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. කොළඹ නිදහස් චතුරශ්‍රය අසළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේ දී අමාත්‍යවරයා මෙලෙස වැඩ භාර ගත්තේය.

එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

” පසුගිය දින 52ක කාලයේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය නිසා රට අවුරුදු ගණනකින් ආපස්සට ගියා. රාජ්‍ය සේවය බිඳ වැටුණා. ඇතැම් අවස්ථාවල දී රජයේ නිලධාරීන්ට තමන් රාජකාරී කළ යුතු වෙන්නේ කාගේ අණ අනුව ද යන්න පවා අපහැදිලි තත්ත්වක් මතුවුණා. මේ නිසා රාජ්‍ය සේවයත්, සංචාරක කර්මාන්තය, රටේ ආර්ථිකය, විදේශ රටවල විශ්වාසය ආදී සියල්ල බිඳ වැටුණා. මේ තත්ත්වය හැකි ඉක්මණින් නතර කළ යුතුයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අතපසු වූ ව්‍යාපෘතීන් රැසක් තිබෙනවා. මේවා කඩිනමින් යළි ආරම්භ කරලා පවත්වාගෙන යා යුතුයි. ”

”රටේ මාධ්‍යයත් මේ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මාධ්‍ය තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක නොකර ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් ඇත්ත සමාජගත කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. දැන් මාධ්‍ය අහනවා පළාත් සභා මැතිවරණය තියන්නේ කවදාද කියලා. අපි පසුගිය ජනාධිපතිවරණයේ දීත් මහ මැතිවරණයේ දීත් ජනතාවට දුන් පොරොන්දු පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා පළාත් සභා මැතිවරණය එකම දිනයක දී පවත්වනවා කියා. එක් එක් පළාත් සභා තනි කරලා මැතිවරණය විවිධ දිනවල පවත්වන්න කටයුතු කළොත් රාජ්‍ය බලය අයතා ලෙස යොදනවා කියලා චෝදනා නැගෙනවා. අතීතයේ එහෙම වුණා. මේ තත්ත්වය පාලනය කළ යුතුයි. ඒ නිසා මාධ්‍ය නිවැරදිව ජනතාවට ඒ ගැන කියන්න. අපේ ප්‍රතිපත්ති කියවා ඒවා සමාජගත කරන්න. මේ රජය පළාත් සභා ඡන්දය විතරක් නොවෙයි හැකිනම් ජනාධිපතිවරණය, මහ මැතිවරණය පවා එකම දිනයක දී පවත්වනවා. එවිට වියදමත් අඩුයි. අපි යා යුත්තේ එතැනට.”

මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය දා සිදුවීම හේතුවෙන් වර්තමානයේ ගමේ කඩපිලේ තැඹිලි විකුණන පුද්ගලයා පවා ව්‍යවස්ථාවේ සඳහන් කරුණු ගැන අවබෝධයකින් සිටින බවයි. මෙය ඉතා හොඳ තත්ත්වයක් බව ද අමාත්‍යවරයා කීවේය.

වජිර අබේවර්ධන අමාත්‍යවරයා සිය රාජකාරී ආරම්භ කරන අවස්ථාවේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්වන අශෝක ධනවංශ මහතා, ජයන්ත ජයවීර මහතා ද ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරී නිලධාරිනියන් රැසක් ද සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *