රාජ්‍ය වෙබ් අඩවි යාවත්කාලීන කිරීම එම ආයතන සතුයි- ICTA කියයි

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි නිසි පරිදි යාවත්කාලීන කර පවත්වාගෙන යෑම එම ආයතන සතු වගකීමක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

රොහාන් සමරජීව මහතා මෙම අදහස් පළ කළේ ඇතැම් රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි වල ඉතා යල් පැනගිය තොරතුරු අඩංගු වී ඇත්තේ මන්දැයි කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.

රාජ්‍ය ආයතන සදහා වෙබ් අඩවි සකස් කර දීමේ ව්‍යාපෘතිය යටතේ 2003 වසරේ වෙබ් අඩවි සකස් කර දුන් බවත් එහිදී වෙබ් අඩවි සදහා පොදු ආකෘතියක් සැකසු බවත් තම රාජ්‍ය ආයතනයේ දත්ත තමන්ටම වෙබ් අඩවියට ඇතුලත් කිරීමට හැකියාව සමගින් තාක්ෂණික සහායද ලබා දුන් බවත් සමරජීව මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය අවසාන වීමත් සමගම පාහේ වෙබ් අඩවියක් ස්වාධීනව පවත්වාගෙන යෑමේ හැකියාව රාජ්‍ය ආයතන සතු බව පවසන රොහාන් සමරජීව මහතා එතෙක් පැවති තත්වයන්ට වෙනස්ව කඩිනමින් වෙබ් අඩවියක් යාවත්කාලීන කර ගැනීම මෙන්ම වෙබ් අඩවි වල සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රමවේදයන් ඉහල මට්ටමකට ගෙන ඒමට හැකිවු බවද සමරජීව මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *