ලොව වැඩියෙන්ම වාර්තා වූ ස්ථානය‘තාම් ලුවාන් ලෙන‘යි

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ තාම් ලුවාන් ලෙන 2018 වසරේ ලොව වැඩියෙන්ම වාර්තා වූ ස්ථානය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තාම් ලුවාන් ලෙන පසුගිය ජූනි සහ ජූලි මාස දෙකෙහි සුමාන 3ක් තුළ ළමා පාපන්දු ක්‍රීඩකයින් 12 දෙනකු ගේ සහ ඔවුන් ගේ පුහුණුකරු ගේ දෛවය විසඳූ අතර ඉතා හැඟුම්බර මෙන්ම ත්‍රාසජනක බේරා ගැනීමේ මෙහෙයුම හේතුවෙන් ලෝක අවධානයට ලක් විය.

එම සිදුවීමෙන් මාස පහක් ගතව යද්දී උතුරු තායිලන්තයේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානය බවට ද තාම් ලුවාන් ලෙන පත්ව තිබේ.

මෙම බේරා ගැනීමේ මෙහෙයුමේ දී ලෙන තුළින් ඉවත් කළ ජලය ලීටර දහස් ගණනක් හේතුවෙන් අවට එලවලු හා පලතුරු වගාවන් මුළුමනින්ම විනාශයට පත් වූ නමුත් ඒ වෙනුවෙන් මැසිවිල් නගන්නට එක් අයකු හෝ නොවීම විශේෂත්වයකි. මේ වන විට එම ගොවීන් තාම් ලුවාන් ලෙන නැරඹීමට පැ‍මිණෙන සංචාරකයින්ට පලතුරු අලෙවි කරමින් වැඩි ආදායමක් ලබා ගැනීමට සමත් වී සිටියි.

ඔවුන් පවසන්නේ තාම් ලුවාන් ලෙන සමග සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වෙනත් තරඟකරුවකු තායිලන්තයේ නොවන බවයි. පැමිණෙන සෑම සංචාරකයකුම මේ වන විට ඇතුළු වීම තහනම් කර ඇති ලෙනට ඇතුළු වන ස්ථානයේ අනිවාර්යයෙන්ම මලක් තබා යන බවත් ඒ හේතුවෙන් මල් අලෙවියට ද ඉහළ ඉල්ලුමක් ඇති බව ඔවුන් සඳහන් කරයි. බේරා ගැනීමේ දී දිවි පිදූ සමන් ගුනන් ගේ මීටර් තුනක් උසැති ලෝකඩ පිලිමයක් ද නිරාවරණය කෙරුණ අතර ඒ සියළු දෙනාගේ ගෞරවයට පත් වන බව ද වාර්තා වේ.

දැවැන්ත මෙහෙයුමකින් පසු බේරා ගනු ලැබූ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු තවමත් තායිලන්ත රජයේ දැඩි ආරක්ෂාව යටතේ පසුවේ. ඔවුන් පොදු කටයුතු වලට සහභාගි වන සෑම අවස්ථාවකම ළමා සුබ සාධන නිලධාරීන් යටතේ සහභාගි කෙරෙන අතර යම් අයකුට ඔවුන් හා සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් කමිටු දෙකක අවසරය මත ඔවුන් ගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතුය. එවන් අවස්ථාවකට සම්බන්ධ වන්නේ නම් ඔවුන් ගේ දෙමව්පියන් පවා නිලධාරීන් ගේ අවසරය ලබාගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *