ආපදාවට ගොදුරුවී ඇත්නම් 1902ට දැනුම් දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සිදුවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් යම් හානියක් සිදුව ඇත්නම් සෘජුව ම 1902 කෙටි අංකය ට ඕනෑම දුරකථන ජාලයකින් ඇමතුමක් ලබා දී තමන්ට සිදුව ඇති හානිය පිළිබඳ දැනුම් දීමට මහජනතාවට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙලෙස 1902 හදිසි ඇමතුම් අංශයට කරනු ලබන දැනුම් දීම් සෘජුවම අමාත්‍යාංශ ලේකම්තුමාගේ අවධානයට යොමුකර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් ඉටුකිරීමට ද කටයුතු යොදා තිබේ.

සිදුවූ හානි සහ විපත් වෙනුවෙන් රජයක් ලෙස උපරිම සහන සහ වන්දි ලබාදීමට කටයුතු කරන බවද ඇමතිවරයා කියා සිටියේය.

“ඉතිහාසයේ පළමු වතාවට රජයක් ලෙස අපි මේ රට සියලු පුරවැසියන් ආපදා අවස්ථාවක දී විපත් ප්‍රතිපූර්ණය කිරීම සඳහා රක්ෂණය කර තිබෙනවා. ඒ නිසා හානියට පත් සියලු පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් සහ ආධාර මුදල් ලබාදීමට රජයක් ලෙස අප කටයුතු කරනවා. එයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ස්ථිර වශයෙන් ම තීරණය කළ හැකිවන්නේ ආපදාවව පළිබඳ අවසන් වාර්තා සැකසීමෙන් පසුව. නමුත් මේ වනවිටත් කඩිනමින් ලබාදිය යුතු සහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීමෙන් දිසාපතිවරුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. ඒ නිසා ගැටලුවක් නැතිව සහන සේවා සැපයීමේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතිනවා.“ යනුවෙන් ද ඇමතිවරයා පැවසීය.

පසුගිය දිනවල උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සිදුවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් පවුල් 29,119ක පුද්ගලයන් 91,762ක පිරිසක් පීඩාවට පත්ව සිටි. මේ වනවිට ආරක්ෂිත ස්ථාන 26ක පවුල් 2841ක පුද්ගලයන් 8905 දෙනකු සිටින අතර පූර්ණ හානියට ලක්වූ නිවාස සංඛ්‍යාව 110ක් ලෙසත් අර්ධ හානි සිදුවූ නිවාස 2381ක් ලෙසත් හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *