තරුණ ව්‍යවසායකයන්ට තුරුණු දිරියෙන් මිලියන 180ක ණය

(කොළඹ, ලංකාපුවත්) – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම යටතේ ලංකා බැංකුව තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් ක්‍රියාත්මක “තුරුණු දිරිය” ණය වැඩසටහන යටතේ රුපියල් මිලියන 180 ක් රට පුරා විසිරී සිටින ව්‍යවසායකයින්ට ලබාදී ඇත.

තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය සමාලෝචනය කරමින් ලංකා බැංකුව විසින් මේ මස 26 වැනිදා නිකුත් කළ වාර්තාවට අනුව රට පුරා තරුණ ව්‍යවසායකයින් 427 ක් අතර මේසා විශාල මුදල ණය වශයෙන් ලබාදී තිබේ.

ඒ පිළිබඳව අදහස් දක්වන අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මෙසේද කියා සිටියි.

වැඩිම ණය ප්‍රමාණයක් නිකුත් කළ පළාත් ලෙස බස්නාහිර සහ සබරගමුව පළාත් තවමත් ඉදිරියෙන්ම සිටින බව ද එම ප්‍රගති සමාලෝචන වාර්තාව මඟින් අනාවරණය විය. එසේම රත්නපුර දිස්ත්‍රික්කය 63 දෙනෙක් සඳහා ණය මුදල් ලබාදීමෙන් දිස්ත්‍රික්ක අතුරින් පෙරමුණට පැමිණ තිබෙන බව ද එම වාර්තාවෙන් වැඩිදුරටත් හෙළිවී ඇත.

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය දිවයින පුරා, රූපලාවන්‍ය, ඇඟලුම්, පරිගණක සහ ජංගම දුරකථන අලුත්වැඩියාව වැනි විවිධ ව්‍යාපාරවල නියැළී සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා ණය ලබාදෙන අතර, මෙම ණය යෝජනා ක්‍රමය මඟින් ඔවුන් මුහුණ දෙන ආර්ථික බාධකවලට සාර්ථකව මුහුණ දෙමින් ඔවුන් සිහින දකින තම ව්‍යාපාරයේ දියුණුව උදෙසා ළඟාවීමට ඔවුනට හැකිවී ඇත.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ තරුණ කටයුතු, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබලගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළි, වයස අවුරුදු 40 ට අඩු තරුණ ව්‍යවසායකයින් උදෙසා ඇප/ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබාදෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *