නව වසරේ නව ගමනක් යන්නට අත්වැල් බැඳගනිමු – ඇමති කබීර් හෂීම්

(කොළඹ, ලංකාපුවත්) –අලුතින් සිතමින්, අලුතින් වැඩ පටන් ගනිමින් නව වසරේ නව ගමනක් යන්නට අත්වැල් බැඳගනිමු යැයි 2019 නව වසරේ මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ හා ලංකා ඛනිජ තෙල්සංස්ථාවේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

බත්තරමුල්ල, කොස්වත්ත ‘‘මගනැගුම මහමැදුර’’ පරිශ‍්‍රයේ දී මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා, අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිළධාරීන් සහ කාර්යමණ්ඩලය එක්ව සිටියහ.

මෙහිදී අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම ඇරඹූයේ තමන් විසින් නිර්මාණය කරන ලද
‘‘ගම්දොර විවර කොට – නව ලොවට වඩින්නට
අවුලූවන තෙල් බිඳෙන් – රටේ ගිණි නිවන්නට
පෙළ ගැසුණු ජන පවුරු – පැතුම් පොබ කරන්නට
නව වසරෙ එකතු වෙමු – උපන් බිම හදන්නට’’
යන කවිය කාර්ය මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා, ‘‘බුදු දහමේ සිඟාලෝවාද සූත‍්‍රයේ සදිසා නමස්කාරයේ ඉගැන්වෙන පරිදි ස්වාමි සේවක සම්බන්ධතාවය ආදර්ශයට ගනිමින් අපගේ මව්බිම අප සැමගේ ස්වාමියා ලෙස සලකමින් මව්බිමට අපගේ යුතුකම් ඉටු කිරීමට සියළු දෙනා නව වසරේ අදිටන් කරගනිමු. අලුතින් සිතමින් අලුතින් වැඩ පටන් ගනිමින් නව වසරේ නව ගමනක් යන්නට අත්වැල් බැඳගනිමු” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *