“50K Orchid” සුපිරි අවන්හල අගමැති අතින් විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හි ඉදිකරන ලද “50K Orchid” සුපිරි අවන්හල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,‍ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන සහ වෝටර්ස් ඒජ් හි සභාපති චමත් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

අග්‍රාමාත්‍යවරයා එහිදී මෙලෙස ද සදහන් කළේය,

“කොළඹ මහනගරයක් බවට පත්කිරීමේ වැඩසටහන එදා අපි චම්පික රණවක ඇමතිතුමාට භාර දුන්නා. කොළඹනගරය ඉන්දියන් සාගරය මැද තිබෙන විශාලතම නගරය බවට පත්කිරීම අපේ අරමුණයි. ඒ වැඩකටයුත්ත මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කොළඹමහ නගරයක් බවට පත්කිරීමේ සියළු වැඩකටයුතු පසුගිය වසර දෙක තුන තුල දියත් කිරීමට නොහැකි වුනත් මේ වන විට සැහැල්ලූ දුම්රිය සේවය කැළණි අළුත් පාලම, වරාය නගරය වැනි වැඩසටහන් ගණනාවක කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.

අද අප ආරම්භ කරන මේ වැඩකටයුත්තෙහි පරමාර්ථ දෙකක් තිබෙන බව පැහැදිලියි. ඉන් එක් කාරණයක් වන්නේ ලංකාවේ ඕකිඩ් වගාවට තිබෙන අනාගතය දියුණු කිරීමයි. තවත් පැත්තකින් සංචාරක ව්‍යාපාරයට මෙන්ම විවාහ මංගල උත්සව සඳහාද මෙය ඉවහල් වන අලූත් සංකල්පයක් බව කිව යුතුයි.

සංචාරක ව්‍යාපාරය තුල විශාල දියුණුවක් ඇති කිරීමට අපේ රජය මේ වන විටත් පියවර රැසක් ගෙන තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ සිට පුළුල් වැඩසටහනක් දියත් කිරීමට අප සැලසුම් කර තිබුණා. අවාසනාවකට මෙන් ඇති වූ අර්බූදය නිසා ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. දැන් ඒ වැඩ පිළිවෙල නතර කළ තැන සිට යළි ආරම්භ කිරීමට අප පියවර ගෙන තිබෙනවා.

ඉදිරියේදී මෙරට උණුසුම් උත්සව හා ශීත දේශගුන තත්වයන් වලදී සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීම හා ඔවුන්ගේ පහසුකම් වැඩිකිරීම සම්බන්ධව ගතයුතු පියවර පිළිබඳව පුද්ගලික අංශය සමඟ ද සාකච්ඡා කර තිබෙනවා. මීට ඉහතදී ද අප මේ ගැන සාකච්ඡා කර කිසියම් වැඩපිළිවෙලක් සකස් කළා. ඒ තීන්දු තීරණ එලෙසම ක්‍රියාත්මක කරන බව කිව යුතුයි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *