විදුලිබලයේ මූල්‍ය වාසි පාරිභෝගිකයාට ලබා දෙනවා – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) –”විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් බවට පත්කොට වැඩි මූල්‍ය වාසි පාරිභෝගිකයාට ලබා දීමට කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරන අතර කාර්යක්ෂමතාව අඩාල වීමට බලපාන ගැටළු වෙතොත් ඒවා කඩිනමින් සාකච්ඡා කර විසඳාගත යුතුයි. ” විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සමඟ ඊයේ (02) පැවැති සාකච්ඡාවට සහභාගි වෙමිනි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුහ.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“ඉදිරියේදී විදුලිබල ශක්තිය අඩුවකින් තොරව රටට ලබාදීමට ගතහැකි කඩිනම් පියවර නොපමාව ගතයුතු අතර, දැනට අක්‍රීයව පවතින ඇතැම් කුඩා විදුලිබලාගාර සම්බන්ධයෙන් මාර්තු 31 වැනිදාට පෙර තීරණයක් ගත යුතුයි. අනිද්දා (04) නොරොච්චෝල විදුලිබලාගාරයේ සංචාරයක නිරතවන අතර පවතින ගැටළු වහා හඳුනාගෙන ඒවා විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. කොළඹ නගරයේ කැලි කසල ප්‍රයෝජනයට ගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට අවශය කටයුතු සැලසුම් කරනවා. වසරකට කෝටි 5000ක අලාභයක් සිදු වෙලා තිබෙනවා. මේවා නිවැරදි කරන්න අවශ්‍යයි. ඒ නිසා දේශපාලන ඇඟිලි ගැසීම් නවත්තලා නිවැරදි ගමනක් ඇති කිරීමයි අපට අවශ්‍ය වන්නේ. සෑම වෘත්තීය සමිතියක්ම මේ සඳහා එකතු විය යුතුයි. සාමුහික තීන්දු ගැනීම තමයි අවශ්‍ය වන්නේ. මේ සඳහා පාරිභෝගිකයන්ටත් එකතු වෙන්න කියලයි කාරුණිකව කියන්නේ. ”
කුඩා විදුලිබලාගාර ඉදිකිරීම සඳහා බලපත්‍ර ලබාගත් ඇතැම් පුද්ගලයින් ඒවා ඉදිනොකර සිටීම තුළ ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව එකතු වියයුතු විශාල විදුලි ධාරිතාවක් නොලැබී යන බව මෙහිදී විදුලි ඉංජිනේරුවන් පෙන්වා දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *