වසර මැදදී ශ්‍රී ලංකාව අසාදු ලේඛනයෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –කළුසල්ලි සුදුකිරීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපැයීම වැළැක්වීමට ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනෙන ක්‍රියාමාර්ග නොගැනීම නිසා දැනට අසාදු (අළු-Gray List) ලේඛනයේ තිබෙන ශ්‍රී ලංකාව මේ වසර මැද වනවිට ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපැයීමට එරෙහිව ලෝකයේ පිළිගැනෙන නියාමන, අධීක්ෂණ හා බැඳුණු දැඩි නීති රීති ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව ඉන් ඉවත්කර ගන්නා බවද අධිපතිවරයා කීය. වසර 2017 අගභාගයේ දී මූල්‍ය කාර්ය සාධන බළකාය විසින් රට අළු ලේඛනයට ඇතුළත් කරන ලදී. ඒ ඔවුන් සමඟ එකඟ වූ පරිදි ක්‍රියාකාරී සැලසුම ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙනි.

මේ අන්දමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වූ තත්ත්වයන් වළකා ගනිමින් ඉදිරියට ගෝලීය නියාමන හා අධීක්ෂණ කටයුතු සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දැනටමත් පියවරගෙන ඇත.‍

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය ‍කොමිසන් සභාව, රක්ෂණ නියාමන කොමිසම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය එළැඹ ඇත. ඒ අනුව හොර ජාවාරම්කාර අරමුදල් සැපැයීම්වලට පවතින ඉඩකඩ අසුරා තිබේ.

ඊට අමතරව මූල්‍ය බුද්ධි සේවා වැඩිදියුණු කිරීම සඳහා සියලු පාර්ශ්ව සම්බන්ධීකරණය කරමින් සාධනීය ප්‍රතිපත්ති ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද අධිපතිවරයා අවධාරණය කළේය.

ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනෙන ක්‍රියාමාර්ග හා බැඳුණු ජාතික මට්ටමේ ප්‍රතිපත්ති රාමුවක් ශක්තිමත් කිරීම, දැඩිව ක්‍රියාවට නැංවීම ඉදිරියේදී සිදුකර ශ්‍රී ලංකාවේ කීර්තිනාමය නැවත සුරැකීමට පියවර ගන්නා බවද අධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *