සහනාධාරලාභීන් සවිබල ගැන්වීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා දැනට ක්‍රියාත්මක වන විවිධ සුබ සාධන වැඩ සටහන් තුළින් ප්‍රතිලාභ ලබනපවුල් සවිබල ගන්වා යැපුම් මානසිකත්වයෙන් මුදවා යහපත් ආර්ථික සහ ජීවන රටාවක් කඩිනමින් සකසන බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

අමාත්‍යවාරයා මේ බව පවසා සිටියේ පසුගියදා (04) මුදල් අමාත්‍යාංශයේ සහ තම අමාත්‍යාංශයේ නිලධාරින් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

තම අමාත්‍යාංශය මගින් රටෙහි සියළු සහනාධාරලාභීන් සවිබල ගැන්වීමට අදාල නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කඩිනමින් කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා , ඒ සියළු සහනාධාර ලාභී පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් විද්‍යුත් තෝම්බුවක් නවීන තොරතුරු තාක්ෂණය උපයෝගී කරගනිමින් පිළියෙල කොට ඉතා කඩිනමින් තමා වෙත ලබා දෙන්නැයි අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

මෙම කටයුතු කඩිනම් කරලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ මෙන්ම කම්කරු , වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් යුත් කමිටුවත් පත් කිරිමට ද අමාත්‍යවරයා මෙහිදී පියවර ගත් අතර, එම කමිටුව සෑම සති දෙකකට වරක් රැස්විය යුතු බව ද පැවසු අමාත්‍යවරයා සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දැනට සකස් කර ඇති තොරතුරු පද්ධතිය මේ සඳහා උපයෝගි කරගන්නැයි කියා සිටියේය.

සමෘද්ධී , වැඩිහිටි දීමනා, වතුගඩු රෝගී දීමනා සහ ආබාධිත දීමනා වැනි සුබ සාධන වැඩ සටහන් 36 සඳහා මේ වන විට මහා භාණ්ඩාගාරයේ මුදල් යොදවන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
මුදල් අමාත්‍යංශයේ සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති එස්. රනුග්ගේ , සමාජ ආරක්ෂණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්‍ය තෙන්නකෝන්, අමාත්‍ය උපදේශක එච්. එම්. ගුණසේකර, අතිරේක ලේකම් (පරිපාලන ) සමන් උඩවත්ත, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් ඇතුළු නිලධාරින් රැසක් මේ සඳහා සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *