ජනපති පදවිප්‍රාප්තියට සිවු වසරයි

(කොළඹ, ලංකාපුවත්) –පොදුජන අපේක්ෂාවන් ඉටුකරමින් සාමකාමී දේශයක් සහ තිරසාර සංවර්ධනයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පදවිප්‍රාප්ත වී අදට (08) සිවු වසරක් සම්පූර්ණ වේ.

පසුගිය 2015 වසරේ ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුදින (09) පස්වරුවේ කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී මෙරට හයවන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර එයින් අනතුරුව මේ රටේ අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පදවිප්‍රාප්ත වී සිවුවසරක් සම්පූර්ණ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රටට සුබපතා රට පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර, ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සංවිධාන කළ පරිත්‍රාණ ධර්ම දේශනයක් ඊයේ (07) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මේ පරිත්‍රාණ ධර්ම දේශනය පැවැති අතර ඊට අමතරව අද (08) උදෑසන දානමය පුණ්‍ය කර්මයක් ද පැවැත්විණි.

සාමය, සහෝදරත්වය සහ සංහිඳියාව සපිරි රටක් බවට පත්කරමින් අනාගත පරපුරේ අභිලාෂයන් ඉටුකිරීමේ ජාතික මෙහෙවර ආරම්භ කොට අද වනවිට වසර හතරක් සම්පූර්ණ වන අතර ජනතා අපේක්ෂාවන් ඉටුකිරීම උදෙසා දැවැන්ත වැඩකොටසක් කළ සිවු වසරක් ලෙස ද පසුගිය වසර හතරක කාල පරිච්ඡේදය ඉතිහාසයට එක්වනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පසුගිය 2015 වසරේ ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණයෙන් පසුව දින සියයක වැඩසටහනක් ප්‍රකාශයට පත්කරමින් රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ මඟින් සෑම ජනකොටසකටම සහන රැසක් ලබාදෙන්නට හැකියාව ලැබිණි.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයකු සතු විධායක බලතල සීමා කරමින් 19වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ස්වෙච්ඡාවෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ අතර එවැන්නක් කළ පළමු රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක දේශපාලන ඉතිහාසයට එක්වෙයි.

ජනතා අභිලාෂයන් ඉටුකිරීමෙහිලා ප්‍රමුඛත්වය ලබාදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රමුඛ රජය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අවම කිරීම, රුපියල් 10,000 කින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, ජාත්‍යන්තරයෙන් අපේ රටට එල්ලවූ අභියෝග ජයගැනීම සඳහා ක්‍රියාකිරීම, අධිකරණ පද්ධතිය ස්වාධීන කිරීමට පියවර ගැනීම, තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කිරීම, රාජ්‍ය සේවාව විනිවිද කිරීමට පියවර ගැනීම, අත්‍යවශ්‍ය ඖෂධ රැසක මිල ගණන් පහත හෙළීම ඇතුළු සහන වැඩපිළිවෙළ රැසක් ජනතා හිතසුව පිණිස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතින්, වගවීම පෙරටු කරගත් යහපාලනය ස්ථාපිත කිරීම් ඇතුළු ‍බොහෝ ජනතා අභිලාෂ දිනවීම වෙනුවෙන් පෙරටවිත් මෙරට පොදු ජනතාවගේ ජනාධිපතිවරයා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව සිටින අතර ඒ මහතාගේ සිවුවැනි පදවිප්‍රාප්තිය නිමිත්තෙන් ජාති, ආගම් හෝ ප්‍රාදේශීය වශයෙන් කිසිදු බේදයක් නොමැතිව රට පුරා විවිධ සමරු උත්සව, පින්කම්, ශ්‍රමදාන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *