ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ පහසුකම් ලැබීමට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) –ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ (National Spatial Data Infrastructure)සේවා පහසුකම් ලබා ගැනීමට ජනතාවට මේ වන විට අවස්ථාව උදාවී තිබේ.

ඒ අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව ආපදා කළමණ මධ්‍යස්ථානය ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නාගරික සංවර්ධන අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන 25ක පමණ දත්ත මෙම පද්ධතියට ඇතුලත් කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

මෙම පද්ධතිය සදහා www.nsdi.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැක.

මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය විවිධ සිතියම් ස්ථර එකිනෙකට එක්වී සෑදුනු අන්තර්ජාලීය සිතියම් පද්ධතියක් වන අතර එමගින් එය භාවිතා කරන්නන්ට සිතියම් නැරඹීම, සකස් කළ දත්ත ලබා ගැනීම සහ භූමිගත තොරතුරු ලබා ගැනිමේ හැකියාව ඇත.

එමෙන්ම නිරන්තරයෙන් යාවත්කාලීන වු නිවැරදි භූගෝලීය තොරතුරු ලබා ගැනීම මෙන්ම ආයතන කිහිපයක් අතර පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමේ දැනට පැවති දුෂ්කරතා මෙම වියුහයත් සමග මග හැරී යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මෙම ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ සේවා පහසුකම් ජනගත කිරීම නොබෝදා කොළඹදී සිදු කරන ලද අතර එම අවස්ථාවට එක් වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙසේ පැවසීය: මෙය සාමුහික කටයුත්තක්. එක් එක් රාජ්‍ය ආයතන සතුව මෙතෙක් පැවති භුමිගත දත්ත මෙම නව ක්‍රියාවලියත් සමගම එක් පද්ධතියකට එක්කර තිබෙනවා. දැන් රජයේ සෑම ආයතනයකටම වගකීමක් පැවරී තිබෙනවා තම ආයතන සතු භූමිගත දත්ත මෙයට එක් කිරීමට.ඉදිරියේදී පෞද්ගලික අංශයත් මෙයට සහභාගි කර ගැනීමට අපේක්ෂා කරනවා.

මෙම අවස්ථාවට එක්වු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහතා මෙහිදී සදහන් කළේ රාජ්‍ය ආයතන අතර දත්ත හා තොරතුරු හුවමාරු කර ගනිමින් මෙරට පුරවැසියන්ට විශිෂ්ට ආකාරයේ සේවාවක් ලබා දීමට මෙය මහගු රුකුලක් වන බවයි.

මිනුම්පති පී.එම්.පී.උදයකාන්ත මහතා මෙහිදි මෙම ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ එයින් රාජ්‍ය සේවයට ලැබෙන වාසි පිලිබදව දීර්ග විස්තරයක් කළේය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *