ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවා ඔන්ලයින් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කෙරෙන බලපත්‍ර නිකුත් කිරීම සහ ලියාපදිංචි කිරීම ඇතුළු සේවාවන් කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට පහසුකම් සැළසේ .

මේ අනුව ෆාමසි ලියාපදිංචි කිරීම,ඖෂධ/ වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන අපනයනකරුවන් ලියාපදිංචිය,පෞද්ගලික වශයෙන් ගෙන්වන ඖෂධ සදහා අනුමැතිය ලබාදීම, අන්තරායකාරී ඖෂධ පාලනය යන සේවාවන් මෙසේ අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනිමට හැකිවේ .

www.enmra.nmra.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම් ලබා ගැනීමට හැකිවේ.

මෙම සේවාව ජනගත කිරීම නොබෝදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේදී සිදුවු අතර එම අවස්ථාවට එක්වු ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙසේ පැවසීය.”මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය නිසා නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාබ තව දුරටත් පුළුල් වෙමින් පවතිනවා කීවොත් නිවැරදියි.‍බරසාර වචන වලින් විතරක් පලක් නැහැ. කරන දේවල් ජනතාවට දැනෙන්න ඕනේ.ඩිජිටල්කරණ ක්‍රියාවලිය රටේ ආර්ථිකයට දැනෙන්න පටන් අරගෙන තිබෙනවා.ජනතාව අද ඒ ගැන ජනතාව කතා බහ කරනවා. පසුගියදා මා හමුවට ආ පුද්ගලයෙක් මට කිව්වා අද රෝහල් ඉස්සර වගේ නෙමෙයි හරි දියුණුයි කියලා ඇයි අහපුවම ඔහු කිව්වේ මම හොරණ රෝහලට බෙහෙත් ගන්න ගියා. ඩොක්ට ලගට ගිහිල්ලා අසනීපෙ කිව්වට පස්සෙ ඩොක්ට ඒ තොරතුරු සියල්ලම පරිගණක ගත කරලා මට කාඩ් එකක් දීලා රෝහලේ ෆාමසියෙන් බෙහෙත් ගන්න කිව්වා. ෆාමසියෙන් මට බෙහෙත් දීලා කිව්වා නැවත එන කොට ඒ කාඩ් එක ගේන්න කියලා. බලන්න අද ජනතාවට මේ පහසුකම් ඇගට දැනෙමින් තිබෙනවා.’

මෙම අවස්ථාවට එක්වු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා මෙසේ පැවසීය .

අද වන විට ලෝකයේ පවතින නව තත්වය තමයි සෞඛ්‍ය සේවා කටයුතු සදහා ඩිජිටල් උපකරණ භාවිතා කිරීමට වැඩි වැඩියෙන් නැඹුරු වීම.එමගින් වියදම් ඉතාම අවම වෙනවා වගේම කාර්යක්ෂම බව ඉතා ඉහලයි.අද ලංකාවේ රෝහල් වලටත් ඒ උපකරණ ලබා දෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ තමයි මේ පහසුකම් අපට ලැබෙන්නේ ඒ පිලිබදව අපේ ස්තුතිය ඔවුන්ට පල කරන්න ඕනේ.

ඉහත සදහන් සේවාවන් ලබාදීම සදහා සම්බන්ධ ශ්‍රී ලංකා රේගුව සහ ආනයන අපනයන දෙපාර්තමේන්තුවද ඉදිරියේදී අන්තර්ජාලය ඔස්සේ මෙම පද්ධතිය හා සම්බන්ධ කර ගනිමින් සේවා ලබා දීමට හැකිවන අයුරින් ව්‍යාපෘතිය පුළුල් කිරීමට අපේක්ෂා කරන බව වැඩසටහන් කළමණාකරු ශ්‍රියානන්ද රත්නායක පවසයි.

එපික් ලංකා ටෙක්නොලිජීස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතියේ පද්ධති සැපයුම්කරු ලෙස කටයුතු කරයි.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉන්දික ද සොයිසා ප්‍රසම්පාදන අධ්‍යක්ෂ ගාමිණී කරුණාරත්න එපික් ලංකා ආයතනයේ තරින්ද්‍ර කල්පගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *