කිසිම ආණ්ඩුවක් වෙන් නොකළ මුදලක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වෙන් කළා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයෙන් පසුව අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා සඳහා මෙතෙක් බිහිවූ කිසිදු ආණ්ඩුවකින් වෙන් නොකළ මුදලක් වත්මන් යහපාලන ආණ්ඩුව විසින් ලබාදී ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අනාගතයේදී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමට නම් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂෙත්‍රයන්හි දියුණුවක් ඇති කළ යුතු බවත් එමගින් නිරෝගී මනසක් සහ අධ්‍යාපනයෙන් පොහොසත් පිරිසක් රටට දායක වන බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය ආණ්ඩුව මගින් දියත් කළ අත්තනෝමතික සංවර්ධන වැඩසටන් සඳහා විදෙස් රටවලින් ගත් ණය වර්තමාන රජය විසින් ගෙවමින් සිටින අතරතුර සංවර්ධන ඉලක්ක වෙත යොමුවීමට හැකි වූ බවත් ගතවූ වසර හතර තුළ වත්මන් යහපාලන රජය විසින් සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ සඳහා රුපියල් බිලියන 1300 මුදලක් යොදවා ඇති බව අග්‍රමාත්‍යවරයා පැවසීය.

වසරක් පාසා තාක්ෂණික අංශයේ උසස් අධ්‍යාපන විද්‍යාල මගින් වෘත්තීය නිපුණතාව හදාරා තාක්ෂණික අංශයේ රැකියා සඳහා යොමුවන ප්‍රමාණයෙහි සහ විද්‍යා අංශයෙහි පාසල් ගුරුවරුන්ගේ ප්‍රමාණය වැඩිකිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) සබරගමුව විශ්වවිද්‍යාලයේ අභිනව වෛද්‍යපීඨය විවෘත කිරීමේ අවස්ථාවට සහ රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

විශ්ව විද්‍යාල උපකුලපති සුනිල් ශාන්ත මහතා විසින් අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අන්තුරුව පැමිණ සිටි ආරාධිතයන් පිරිස සමඟ අගමැතිවරයා විශ්වවිද්‍යාලයේ මධ්‍යස්ථාන නිරීක්ෂණය කළේය.

ඉන් අනතුරුව වෛද්‍ය පීඨය සදහා තෝරාගත් පළමු සිසුන් 75 දෙනා සමඟ සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව අගමැතිවරයා ඔවුන් වෙත සිය සුබපැතුම් පිරිනැමීය.

උපකුලපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිහිවටන තිළිණයක් ප්‍රධානය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *