‘සේනා‘ මඩින මෙහෙයුම් ඇරැඹේ

(කොළඹ, ලංකාපුවත්) – සේනා දළඹුවා දිවයිනේ සියලු ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් බෝග රැසකට හානි කිරීම හේතුවෙන් දළඹු ව්‍යාප්තිය මැඩලීම පිණිස සම්පූර්ණ ශක්තිය යෙදවීමේ අරමුණින් කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරීන් සහ සේවකයින්ගේ නිවාඩු අද (21 ) සිට අවලංගු කිරීමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් .එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා තීරණය කර තිබේ.

දිවයින පුරා සියලුම කෘෂිකර්ම නිලධාරීන් සහ සේවකයින් අද සිට වගා භුමි ක්ෂේත්‍ර පරික්ෂා සඳහා අනිවාර්යයෙන් යායුතු බවත් සේනා දළඹු ව්‍යාප්තිය පිළිබඳ දෛනික වාර්තා සකස් කරමින් එම ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඔවුන් සක්‍රීය දායකත්වය ලබාදිය යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කෙළේය.

සේනා දළඹු ව්‍යාප්තිය පාලනය කිරීම සදහා තෝරා ගත් කෘෂි රසායන යෙදිම මේ වනවිට ක්‍රියාත්මකව ඇති බවත් ඒ සඳහා අවශ්‍යය මඟ පෙන්වීම හා උපදෙස් ලබාදීම ඇතුළු මර්දන වැඩසටහන් සඳහා විශාල පිරිසක් බෝග ක්ෂේත්‍ර සඳහා යෙදවිය යුතුව තිබෙන බවත් කී ඒ මහතා රටට අවශ්‍යය ආහාර සැපයීම සම්බන්ධ තීරණාත්මක මොහොතක් බැවින් සියලු දෙනා එක්ව රාජකාරිය කැපවීමෙන් යුතුව අකුරටම ඉටු කිරීම ඉතා වැදගත් බවද හෙතෙම කීවේය.

සේනා දළඹුවාගේ බලපෑම මෙතෙක් එල්ල නොවී තිබුණු නුවරඑළිය දිස්ත්‍රික්කයටද මෙම බලපෑම එල්ල වී තිබෙන බව පසුගිය දා වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *