‘සේනා‘ නසන්න අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – සේනා දළඹු උවදුර මර්දනය කිරීමට දිවයින පුරා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ(22) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රැස්විය.

ඒ අනුව සේනා දළඹු උවදුර ජාතික ව්‍යසනයක් ලෙස සලකා කටයුතු කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ.

සේනා දළඹු උවදුර මෙතරම් උඩුදුවා ගියේ ඉකුත් ඔක්තෝම්බරයේ සිදුවූ හදිසි බලපෙරළිය නිසා බවටද එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේදී අදහස් පළව ඇත.

උවදුර හදුනාගත් මුල් අවස්ථාවේදී ඒ පිළිබද සුදුසු පියවර ගැනීමට ආණ්ඩුවක් රටේ නොපැවති බව එහිදී ප‍්‍රකාශ වී තිබේ.

සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා යුද හමුදාවේ සහය ලබා ගැනීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවද ‍බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මාහතා පවසා ඇත.

සේනා දළඹුවාගෙන් මුලින්ම හානියට ලක්වූයේ බඩඉරිගු වගාවයි. බඩඉරිගු හෙක්ටයාර 40,000 ක් පමණ හානියට ලක් වූ බව ඇස්තමේන්තු කර තිබේ. මේ නිසා වාර්ෂික අස්වැන්නෙන් සියයට 20 ක් පමණ අහිමි වනු ඇති බවට වැඩිදුරටත් ඇස්තමේන්තු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *