මාර්තු අවසන් වනවිට සුවසැරිය රටපුරාම

(කොළඹ, ලංකාපුවත්) –මේ වර්ෂයේ මාර්තු මස අවසන් සතිය වන විට සුවසැරිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට වැඩසටහනක් ආරම්භ කර ඇති බව සුවසැරිය වැඩසටහන් කළමනාකාර අංශය පවසයි.

ඉන්දු ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම වඩාත් ශක්තිමත් කරමින් 2016 වසරේ මෙරටට පිරිනැමුණු සුවසැරිය ගිලන්රථ සේවාව බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය. ඒ හරහා සාමාන්‍ය ජනතාවට කියා නිමකළ නොහැකි සේවාවක් ඉටුවිය. කොළඹින් පිට ජනතාවට බස් රථයෙන් පිටකොටුවට පැමිණ 1990 ඇමතීමෙන් කොළඹ ජාතික රෝහල වෙත පහසුවෙන් යෑමට හැකිවිය. යහපාලන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කළ සාර්ථකම ව්‍යාපෘතිය ලෙස මෙය දැක්විය හැකිය.

ඒ අනුව ගිලන්රථ 56ක් බස්නාහිර පළාතේ ජනතාවගේ සේවයට යොදාගෙන තිබුණ අතර ගිලන් රථ 22ක් කොළඹ දිස්ත්‍රික්කයටද, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක සඳහා ගිලන් රථ 17 බැඟින් ලැබුණි, දකුණු පළාත සඳහා ගිලන් රථ 32ක්, වයඹ පළාත සඳහා ලැබාදුන් ගිලන් රථ 31න් 13 හලාවතට සහ කුලියාපිටිය 17ක් වශයෙන් ලබාදුනි. උතුරු පළාත සඳහා ගිලන් රථ 20 ක් ලබාදුන් අතර එම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උතුරු පළාතේ දෙමළ ජනතාව අන්තර්ජාලය ඔස්සේ අමතනු ලැබීය.

ඌව පළාත සඳහා ගිලන් රථ 26ක් ලැබිණි, ඉන් බදුල්ල දිස්ත්‍රික්කයට ගිලන් රථ 13 ක් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා ගිලන් රථ 13ක් පිරිනැමිණි. උතුරු මැද පළාත සඳහා ගිලන් රථ 21ක් ලැබිණි. සබරගමුව පළාත සඳහා සුවසැරිය ගිලන් රථ 20ක් ලබාදීම පසුගිය (19) දින ගොඩකවෙල නගරශාලාවේදී අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඒ අනුව මේ වන විට ගිලන් රථ 206 ක් දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වන අතර පළාතේ ජන ඝනත්වය අනුව පොලිස් ස්ථාන සඳහා මෙම ගිලන් රථ ලබාදෙනු ඇත.

මේ වන විට 60000කට අධික ජනතාවක් සුවසැරිය ගිලන්රථ සේවාව ලබාගෙන ඇතැයි සුවසැරිය වැඩසටහන් කළමනාකරු ගයාන් චතුරංග මහතා පැවැසීය. දිනකට මේ සේවාව ලබාගැනීමේ සාමාන්‍ය 150 දෙනෙකු පමණ වේ.

දරු ප්‍රසූතියක් සඳහා හදිසියේ රෝහල් ගතවීමට මේ සුව සැරිය ගිලන් රථ සේවාව ලබාගත් ගැබිණි මව්වරුන් අතුරින් 21 දෙනෙක් මේ සේවාව තුළදීම දරු ප්‍රසූතිය සිදුකොට ඇතැයිද වාර්තාවේ. මේ ගිලන්රථ සේවාවේ කාර්ය මණ්ඩලය ලෙස හදිසි වෛද්‍ය තාක්ෂණික නිලධාරියෙකු, රියදුරෙකු පුහුණු කෙරේ.

මේ වන විට මෙහි කාර්ය මණ්ඩලය 1500 දෙනෙකුගෙන් සමන්විතය. 2019 වර්ෂයේ මාර්තු මස වන විට මුළු රට පුරාම මේ සේවාව ව්‍යාප්ත කිරීමට පියවර ගැනීමත් සමඟ මේ කාර්ය මණ්ඩලය දෙදහසකට වැඩි වන බවද ගයාන් චතුරංග මහතා සඳහන් කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *