”මතින් නිදහස් රටක්” ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ප්‍රථම ගමන් වාරය අරඹ

(කොළඹ, ලංකාපුවත්) –”මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන ”මතින් නිදහස් රටක්” ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ පළමු ගමන්වාරය ඇරඹිණි.

එම දුම්රියේ පළමු ගමන් වාරය ට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මරදාන දුම්රිය ස්ථානය තෙක් දුම්රියේ ගමන් කළේය.

මීට වසර 04 ක පෙර ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ආරම්භ කෙරුණු අතර එය නව මුහුණුවරකින් පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරිණි. ඒ යටතේ ඊයේ සිට ආරම්භ වූ සතිය දහම් පාසල් සතිය ලෙස නම් කර ඇති අතර මෙම දුම්රිය ඒ හා සමගාමීව ධාවනයට යොදා ඇත.

නව දුම්රිය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍යවලින් වන අහිතකර බලපෑම් සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගත හැකි පියවරයන් පිළිබද මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සිදුකෙරුණු අත් පත්‍රිකා ඛෙදාදීමේ වැඩසටහන සදහා ද එක්විය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා සදහන් කළේ, මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් පසුගිය වසර 04 ක කාලය තුළ දී දියත් කළ වැඩසටහන් මෙම වසරේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කෙරෙන බවයි.

ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා ගෙන යන ජාතික වැඩපිළිවෙළට පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසට ද ජනාධිපතිතුමා සමස්ත රට වැසියාගෙන් ඉල්ලීමක් කළේය.

උතුර දකුණ යා කෙරෙමින් ගමන් ගන්නා මෙම දුම්රිය මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් නම් කිරීම සනිටුහන් කරමින් අදාළ ලියවිලි ජනාධිපතිතුමා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත ලබා දීමට මෙහිදී සිදුවිය.

ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම දුම්රිය, බලවේග කට්ටල දෙකකින් යුතු වන අතර වායු සමීකරණ මැදිරි 02 කින්, දෙවන පංතියේ මැදිරි 02 කින් සහ තෙවන පංතියේ මැදිරි 07 කින් සමන්විත ය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින්ග් සන්ධු, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි යන මහත්වරු ඇතුඑ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *