කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –කලාකරුවාගේ දක්ෂතා නිර්මාණශිලීත්වය කලාකරුවා මියයන විට වැනසීමට නොදී ඉදිරියට ගෙන යාමට රජයක් හැටියට හා අමාත්‍යාංශය හැටියට වගකීමක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

මෙරට කලාකරුවා ඔවුන්ගේ හැකියාවන් නිර්මාණශීලීත්වය සමාජය වෙනුවෙන් දායාද කළ බවත් එම කලාවන් ආරක්ෂා කළ යුතු බවත් සමාජයේ මිනිසුන් නොවන මිනිසුන් සැබෑ මිනිසුන් කිරීමට කලාවට හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් ඇගැයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්විණි. එහිදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

කලා ශිල්පි ශිල්පිනියන් දෙසීය දෙනෙකු පමණ මෙහිදී ඇගැයීමට ලක් කෙරුණු අතර විශිෂ්ටතා සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

හේමා ප්‍රේමදාස මැතිණිය ද, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, සරත්චන්ද්‍ර එදිරිසිංහ යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *