මත් නිවාරණ වැඩපිළිවෙළ අවඥාවට ලක් කරන්නේ ඊට සම්බන්ධ පිරිස් විසින්මයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක් කරමින් සිටින්නේ එම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින්ම බව ජනාධිපතිතුමා පවසයි.

කුමන මුහුණුවරකින් පෙනී සිටිය ද ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලට යට වී ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේ ඊයේ(30) පෙරවරුවේ මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගණයේ පැවැති ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.

මෙහි දී අදහස් දැක්වු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ නිවාරණය වෙනුවෙන් මෙතෙක් ගෙන ගිය වැඩසටහන ශක්තිමත් කරනවා සේම පාසල් දරුවන් සහ රාජ්‍ය නිලධාරින් මුල්කර ගනිමින් විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ දී කි‍්‍රයාවට නංවන බවයි.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධයට හා සමාන යුද්ධයක් මත්ද්‍රව්‍ය අභියෝගය පරාජය කිරීමට ද රජය ගෙන යන අතර එහි දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ද ළඟදීම කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ථෙරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධව අද විවිධ බලවේග කි‍්‍රයාත්මකවන අතර බෞද්ධ දර්ශනය විකෘති කර පෙන්විමට ගෙනයන කුමන්ත‍්‍රණ, සංස්කෘතික වටිනාකම් විනාශ කිරීමට ගෙන යන කුමන්ත‍්‍රණ සේම මත්ද්‍රව්‍ය ජාවාරම ද රට විනාශ කිරීමට ගෙන යන ක‍්‍රමානුකූල සංවිධානාත්මක කුමන්ත‍්‍රණයක් බව ජනාධිපතිතුමා කියා සිටියේ ය. එහිදී දැඩි තීන්දු තීරණ ගනිමින් සහ සිය වගකීම් නිසි ලෙස ඉටුකරමින් මාතෘ භූමිය රැක ගැනීමට සියලුදෙනා පෙළගැසීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේ ය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහයවීමෙන් කි‍්‍රයාත්මක ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන දිස්ති‍්‍රක් සමාලෝචන වැඩසටහන් මාලාවේ 13 වැනි වැඩසටහන මෙලෙස මාතර දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි. මාතර දිස්ති‍්‍රක්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක කෙරිණි. ඒ යටතේ, දිස්ති‍්‍රක්කයේ සියලුම ග‍්‍රාම නිලධාරි කොට්ඨාස (650) ආවරණය වන පරිදි ග‍්‍රාමීය වැඩසටහන් 650ක් පවත්වා මහජනතාව හා නිලධාරින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව සෘජුව දැනුවත් කර තිබේ. එසේම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බළකායට අනුයුක්ත නාවික හමුදා හා ගුවන් හමුදා නිලධාරින් මගින් මාතර දිස්ති‍්‍රක්කයේ කලාප 05ක පාසල් 51ක පමණ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කෙරිණි.

මෙම වැඩසටහන්වල ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට දායකවූවන් ඇගැයීමට ලක් කිරීම ද මෙම සමුළුවේ දී සිදු විය. මාතර දිස්ති‍්‍රක් පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළඳවීම, කි‍්‍රයාකාරී ග‍්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 04 ක් සඳහා සහ කි‍්‍රයාකාරි පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 03ක් සඳහා ඇගැයිම් සහතික පත් ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මීට අමතරව තාරුණ්‍ය මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් කර ගැනීමට විශ්වවිද්‍යාලවල දායකත්වයෙන් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාවට නංවා තිබෙන අතර, ඒ යටතේ රුහුණු විශ්වවිද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ පර්යේෂණ ඒකකයේ කටයුතු සඳහා මූල්‍ය පරිත්‍යාගයක් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මහාචාර්ය සමන් චන්දන එදිරිවීර මහතා ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේ ය.

දක්ෂිණ ලංකාවේ උප ප‍්‍රධාන අධිකරණ සංඝනායක හා මාතර ඉසිපතනාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තලහගම ඥානරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්ද්‍රසිරි ගජධීර, පළාත් අමාත්‍යවරුන් වන චන්දිමා රාසපුත‍්‍ර, මනෝජ් සිරිසේන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, මාතර දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *