ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපති රාජකාරී අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිධූරයට පත් වූ ගුණපාල පතිරණ මහතා රාජකාරී කටයුතු ආරම්භ කිරීම, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්නේ පිහිටි ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ දී පසුගිය (01)දා පස්වරුවේ සිදු විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ඉන්දීය මහ මැතිවරණය ඉදිරියේ දී පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර තිබෙනවා. වසර හතර හමාරක් රට සංවර්ධනය කළත් ඉදිරි මාස 06 තුල දේශපාලනය කළ යුතු බව. අපටත් එම ප්‍රකාශය වැදගත් වනවා. ශ්‍රී ලංකාව කියන්නේ කොතරම් වැඩ කළත් හොදක් කියන රටක් නොවෙයි. අනගාරික ධර්මපාලතුමාටත් එම ඛේදවාචකයට මුහුණපෑමට සිදු වුනා. එම නිසා ඉදිරි කාලය තුල දේශපාලනය කළ යුතුයි. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය අධිකරණ තීන්දු මත අවසන් වුනා. අධිකරණය ස්වාධීනව තීන්දු තීරණ ලබාදුන්නා. අද ජනාධිපතිවරයාටවත් අධිකරණයට බැලපෑම් කරන්න බැහැ. බලපෑම් තිබුනත් අධිකරණය ස්වාධීනව කටයුතු කරනවා. එවැනි තත්ත්වයක් උදා කළත් ඇතැම් අය පාට කණ්ණාඩි වලින් බලනවා. 2019 වසරේ දී ජනාධිතිපතිවරණයත් 2020 දී මහ මැතිවරණයක් පැවැත්වෙනවා. එම මැතිවරණ අපි ජයගත යුතුයි. අනාගතය ගොඩනැගිය යුතුයි.”

“ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වෘත්තීය සමිති පසුගිය කාලයේ අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා ගැටලු ඇති වුනා. නමුත් දැන් එම වෘත්තීය සමිති අවබෝධයෙන් කටයුතු කරනවා. මෙම සංස්ථාව දියුණුවට පත් කිරීම සදහා අපි විවිධ පියවර ගෙන තිබෙනවා. තෙල් බෙහෙත් විකුණන කඩයක් වෙනුවට ඉතා දැකුම්කළු, පාරිභෝගික ආකර්ශණයෙන් යුත් නිෂ්පාදන වෙළෙද පොලට ඉදිරිපත් කර තිබෙනවා. එම නිෂ්පාදන ඉතා ගුණාත්මකයි. මෙම සංස්ථාවේ ඉදිරි දියුණූව සදහා තනතුරුවල වෙනස්කම් ද ඉදිරියේ දී සිදු කරනවා. නව සභාපතිවරයා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු දක්ෂ පරිපාලන නිලධාරියෙක්. මෙම සංස්ථාවට නව කර්මාන්ත ශාලාව ඉදිකරන විටත් එය අනවශ්‍ය බව ප්‍රකාශ කළ පුද්ගලයින් හිටියා. නමුත් සංස්ථාව දිනෙන් දින දියුණූවට පත්විය යුතුයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එච් තිලකරත්න, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එච්.එම්.එම රූමි, ආයුර්වෙද සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ජීවානන්ද විඡේසුන්දර, වෘත්තීය සමිති නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *