නිදහස් දිනට එළිසබෙත් රැජන ඇතුළු රාජ්‍ය නායකයන්ගෙන් සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) – 71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජන ඇතුළු ලොව රාජ්‍ය නායකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය සුබපැතුම් පිළිගන්වා ඇත.

බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජන ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් 71 වන ජාතික දිනය සමරන සියලු ශ්‍රී ලාංකිකයන්ට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කර තිබේ.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් පළ කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද මහ රැජන සිය බලවත් සතුට පළ කරයි. රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින් මහතා ද 71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා අන්‍යෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත්‍රශීලීබව ඉදිරියටත් නොසැලී පවතින බව සඳහන් කරන වැලැඩ්මීර් පුටින් මහතා ජනතා අභිලාෂයන් මල් පල ගැන්වීම වෙනුවෙන් දෙරට අතර ගොඩනගාගෙන තිබෙන ද්විපාර්ශ්වික සහයෝගීතාවය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වන බවට ද විශ්වාසය පළ කර ඇත.

මේ අතර ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා ද ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

71 වන ජාතික දිනය සමරන සියලු සහෝදර ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් පළ කරන ඉන්දීය ජනාධිපතිවරයා සිය ආදරණීය රට වැසියන්ගේ යහපත වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන ජනතාවාදි වැඩපිළිවෙළට ද සුබපැතුම් එක් කර ඇත.

අසල්වාසී සහෝදර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ ඓතිහාසික නොබි‍ඳෙන සබඳතාවයකි. සමීප සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර පවතින සබඳතා ඉදිරියේ දී අන්‍යෝන්‍ය වශයෙන් වඩා ප්‍රතිඵලදායක ලෙස ශක්තිමත්ව වර්ධනය වනු ඇති බව ද ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *