වාසනාව අලෙවිකරන්නන්ගේ වාසනාව කෙබඳුද?

ශ්‍රී ලංකාවේ ලොතරැයි අලෙවි ඉතිහාසය දශක 8ක පමණ ඈතට දිවයයි. එදා මෙදාතුර ලොතරැයි ජයග්‍රහණ හේතුවෙන් ජීවිතය දිනාගත් අයත් ලොතරැයි අලෙවිය සම්බන්ධවත් විවිධකාරයෙන් කතා, පුවත්, සංවාදයන් රැසක් ගොඩනැගී තිබුණද ලොතරැයි අලෙවිකරුවන් සබඳව තවදුරටත් තොරතුරු අනාවරණ වීමක් සිදුවිය යුතු බව පෙනී යයි. අන් අයට වාසනාව අලෙවි කරන ඔවුන්ගේ වාසනාව කෙතරම්ද යන්න ගැන බිඳක් හෝ අවධානය යොමු කිරීම වැදගත් වේ.

මෙරට රැකියා වල නියුතු වූවන් අතුරෙහි ස්වයං රැකියා වල නියුතු පිරිස ප්‍රතිශතාත්මකව ගත්විට ( ජනලේඛන හං සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු හා මහ බැංකු වාර්තා දත්ත අනුව ) සියයට 30 කට ආසන්නය. ඒ තුළ සිටින ලොතරැයි අලෙවිකරුවන් ගණන 350000කට පමණ ආසන්න වේ. ඒ අනුව බැලූ කල පෙනී යන්නේ ඔවුන් ගේ සුභසාධනය කෙරෙහිද ඉහළ අවධානයක් යොමු කළ යුතු බවයි. ලොතරැයි අලෙවිකරුවන්ට ඇති සමාජ පිළිගැනීම හා අලෙවියේදී මතුවන ගැටලු පිළිබඳවප්‍රධාන වශයෙන් විමසා බැලීමෙන් යම්තාක් දුරටහෝ ඔවුන් වර්තමානයේදී පසුවන පසුබිම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය.

මතු දැක්වෙනුයේ ඒ පිළිබඳව ප්‍රදේශ කිහිපයක ( බත්තරමුල්ල, නාරම්මල, ගම්පහ, නිට්ටම්ඹුව ) ලොතරැයි අලෙවිකරුවන් කිහිප දෙනෙකු සමග කළ විමසුමකදී ඔවුන් දැක්වූ අදහස් කිහිපයකි.

සරෝජිනි පුෂ්පකුමාරි ( ගම්පහ ) – “ඉස්සර කාලෙට වඩා සමාජයේ පිලිගැනීමක් අපට තිබෙනවා. නමුත් හැම දිනකම ආදායම එකම මට්ටමක නැතිවීම ප්‍රශ්නයක්. ක්‍රිකට් තරඟ පැවැත්වෙන දින , අයහපත් කාලගුණයක් තිබෙන දින වලදී මිනිස්සු අඩු නිසා ආදායම හුඟාක් අඩුයි. එවැනිදිනවලට ගෙවල් දොරවල් වල වැඩ කර ගන්න අමාරුයි.”

උදය වනිගරත්න ( නිට්ටම්ඹුව ) – “කිසිවකුට යටත් නොවී නිදහසේ කරගත හැකි රැකියාවක් නිසා සතුටුයි. සමාජ පිළිගැනීමත් හොඳයි. ඒ වුණත් ඡන්ද පවතින දිනවල, වැසි දිනවල සෙනඟ අඩු නිසා අලෙවිය අඩුයි. ඒ වගේ දවස් වලට ගෙදර වියදම් අසීරුයි.”

ගම්පහ නිලූෂා සමන්ති, නාරම්මල කුමාරි ඒකනායක, බත්තරමුල්ල එස්. ධනන්සූරිය, බත්තරමුල්ල එස්. රණවක , නාරම්ල ආර්. ඩී පියසිරි යන අයද දැක්වූයේ සරෝජිනීට හා උදයට සමාන අදහස්මය.

ඉහළ ආදායම් ලැබුණද එම රැකියා වල නියුතු ඇතැම් අය අතෘප්තිකරව තම රැකියා වල නියුතුව සිය උපරිම කැපවීම ලබා නොදෙන අවස්ථා දක්නට ඇත. එවන් පසුබිමක තම රැකියාව තෘප්තිමත්ව කරන මෙවැනි පිරිසකගේ සුභසිද්ධිය තවදුරටත් සැලසීම කෙරෙහි අවධානය යොමු විය යුතු නොවේද ?

(ලිපිය සම්පාදනය – ඩබ්ලිව්. ප්‍රියදර්ශනී. – ෆස්ලාන් මොහොමඩ්.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *