ගෝඨාභයගේ ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඩී. ඒ රාජපක්‍ෂ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද(11) ප්‍රතික්ෂේප කළේය.

සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුව ඉකුත්දා විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු විත්ති පාර්ශවයේ නීතිඥවරුන් ව්‍යවස්ථාදායකය විසින් මෙම විශේෂ මහාධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ බරපතළ ආර්ථික සහ මූල්‍ය වැරදි පිළිබඳ නඩු විභාග කිරීමට බැවින් මෙම නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් කරුණු දක්වා තිබුණි.

මෙම නඩුව සාමාන්‍ය මහාධිකරණය වෙත යොමුකළ යුතු නඩුවක් බව සඳහන් කළ විත්තියේ නීතිඥවරු මෙම විරෝධතා පිළිගෙන නඩුව ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

එම නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී විභාග කිරීමට තමන්ට බලයක් තිබේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව පෙබරවාරි 11වැනිදා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය 31වනදා නියම කළේය.

තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම නඩුව විභාග කරන මෙන් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *