(කොළඹ, ලංකාපුවත්) – සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් සමග ඊයේ (11) පස්වරුවේ බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේ පැවති හමුව අමතමිනි.
ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු විසඳමින් සියලූදෙනාට උපරිම සහන ලබාදීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ ය.
එමෙන් ම ජනාධිපතිතුමා කියා සිටියේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව ම ප‍්‍රමුඛතාවය ලබා දී ඇත්තේ නැගිට ඇති පිරිස් තවත් නඟාසිටුවීමට නොව වැටී සිටින පිරිස් නඟාසිටුවීමට බවයි.
එමෙන් ම දිළිඳු ජනතාව ඇති හැකි පිරිසක් ලෙස නඟාසිටුවීමට ප‍්‍රමුඛතාවය ලබාදෙමින් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
නව ආර්ථික ක‍්‍රමවේදයන් සමග රාජ්‍ය සහ පෞද්ගලික අංශය සහයෝගයෙන් රටේ ආර්ථික සමෘද්ධිය උදෙසා ශක්තිමත් ගමනක් යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය පී. හැරිසන්, පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද දිස්ති‍්‍රක් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.