නිදහස් සමාජයකට ඇප කැප වෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සියලු බලවේග ඒකරාශි කරමින් ඉදිරියේ දී පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් නිදහස් සමාජයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලු දෙනා සිය වගකීම් නිසි ලෙස ඉටු කරනු ඇති බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එලෙස ඒ වගකීම් ඉටු නොකරන සංවිධායකවරු සිටීනම් ඔවුන් සම්බන්ධව ගතයුතු පියවර කුමක් දැයි තම පක්ෂය තීරණය කර තිබෙන බව වැඩිදුරටත් පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (11) දින අරලියගහ මන්දිරයේ දී එජාප නව සංවිධායකවරු 6දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරමිනි.

ඒ අනුව ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය නව ආසන සංවිධායක ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව සංවිධායක ලෙසත්, ලලිත් දිසානායක මහතා අරනායක නව සංවිධායකවරයා ලෙසත්, තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පාතදුම්බර ආසන සංවිධායක ලෙසත්, මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත්, ඩී. එම්. යූ. බී. විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කෙරිණි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පුරප්පාඩු වී පවතින එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සඳහා නව ආසන සංවිධායකවරු පත්කිරීමට අපේ පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි එක් පියවරක් ලෙස අද මේ ස්ථානයේ දී නව ආසන සංවිධායකවරු 6කට පත්වීම් ලිපි ප්‍රදානය කළා. අද පක්ෂයේ ආසන සංවිධායක ධූර භාරගන්නා මේ සංවිධායතුමන්ලා නව වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට යා යුතුයි. මේ අයට මාගේ ආශිර්වාදය පළකර සිටිනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ එකතු වී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ පෙරමුණට සියලු බලවේග ඒකරාශීකර ගැනීම අපේ අරමුණයි. ඒ සටනට සූදානම්වීම අප මේ වන විට සිදු කෙරෙමින් පවතී.

අද ආසන සංවිධායකවරු ලෙස පත් වූ ඔබ සියලුදෙනා සහ අනෙකුත් අපේ සංවිධායකවරු තමන් වෙත පැවරෙන වගකීම නිසිලෙස ඉටුකළ යුතුයි. එලෙස යම් සංවිධායකවරයෙක් කටයුතු නොකරන්නේ නම් ඒ අය පිළිබඳ පක්ෂය ගතයුතු පියවර තීරණය කර තිබෙනවා.

නව සංවිධායකවරු පත්වීම් ලබාගත් මේ අවස්ථාවට සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥාණාලෝක නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ආගමික නායක තුමන්ලා ද, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අධ්‍යාපන අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *