IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ලංකා IOC සමාගම ද ඊයේ (11) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ලංකා ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ නැංවීමටයි තීරණය කර ඇත. මීට පෙර රුපියල් 99කට අලෙවි කළ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 103කි.

රුපියල් 118ක්ව පැවැති සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 126ක් වේ.

කෙසේවෙතත් ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මිල ගණන් ඉහළ නංවා නැත. ඒ අනුව IOC පෙට‍්‍රල් ලීටරයක මිල පෙර පරිදිම රුපියල් 131ක් වනු ඇත. එහෙත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 150ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 155කි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ද ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට තීරණය කළේය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ යයි. රුපියල් 123කට අලෙවි කළ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 129කි. ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 152ක් වේ. මීට පෙර ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කළේ රුපියල් 147කටය.

ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 04කින් ඉහළ නැංවීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට පියවර ගත්තේය. ඒ අනුව රුපියල් 99කට අලෙවි කළ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 103කි. මේවනවිට රුපියල් 118කට අලෙවි කෙරෙන සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 126ක් දක්වා ඉහළ නංවා තිබේ. එහි මිල ගණන් වැඩි කර ඇත්තේ රුපියල් 08කි.

මෙලෙස ඉන්ධන මිල වැඩි කරනු ලැබ ඇත්තේ මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණය කරන කමිටුව විසිනි.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනුයේ ජාත්‍යන්තර වෙළඳපලේ බොරතෙල් මිල හා සැසඳීමේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 09.59කින් ඉහළ දැමිය යුතුව තිබූ බවයි. එහෙත් ජනතාවට හා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට බලපෑමක් නොවන පරිදි රුපියල් 04කින් පමණක් ඩීසල් ලීටරයක මිල ඉහළ දැමූ බව අමාත්‍යාංශය සදහන් කළේය.

ඒ අනුව ඉන්ධන මිල ඉහළ ගිය ද සෙසු සේවා ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *